1. 3. 4.
මනෝනිවාරණ සූත්‍රය
24. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යමෙකින් යමෙකින් සිත වළකන්නේ ද? එයින් එයින් ඔහුට දුක් නො පැමිණෙයි. හෙතෙමේ සියල්ලෙන් සිත වළකන්නේ නම් හෙතෙමේ සියලු දුකෙන් මිදෙයි.
[භගවත්හු:]
සියල්ලෙන් සිත නො වළකන්නේය. සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය. යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි.
1. 3. 5.
අරහන්ත සූත්‍රය
25. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?
[භගවත්හු:]
සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ය. හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ය. දක්‍ෂ වූ හෙතෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.
[දෙවි:]
සිවු මගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? ඒ මහණ තෙමේ මානයට පැමිණ හෝ “මම කියමි” යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?
[භගවත්හු:]
ප්‍රහීණ වූ මාන ඇති ඔහුට මානග්‍රන්‍ථිහු නැත. ඔහු විසින් සියලු මානග්‍රන්‍ථිහු වෙසෙසින් නසන ලද්දාහ. මනා නුවණ ඇති හෙතෙමේ මඤ්ඤන ඉක්ම වූයේ ය. හෙතෙමේ ‘මම කියමි’යි කියාත් කියන්නේ ය. හෙතෙමේ ‘මට කියති’යි කියාත් කියන්නේ ය. දක්‍ෂ වූ ඒ රහත් තෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාරමාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.
1. 3. 6.
පජ්ජෝත සූත්‍රය
26. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යමෙකින් ලොව බබළා නම් (එබඳු) එළි ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
[භගවත්හු:]
ලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. හිරු දවල් බබලයි. සඳු රෑ බබලයි. තව ද, ගින්න දිවා රෑ දෙකෙහි ඒ ඒ තැන බබලයි. සර්‍වඥයන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තර යි.