1. 2. 5.
සනමාන සූත්‍රය
15. සැවැත්නුවර–
[දෙවි:]
සිටි මද්දහනෙහි පක්‍ෂීන් ඉසුඹු ලන කල්හි වනය (මහත් සේ) හඬ නගන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.
[භගවත්හු:]
සිටි මද්දහනෙහි පක්‍ෂීන් ඉසුඹු ලන කල්හි මහවනය (මහත් සේ) හඬ නගන්නාක් මෙනි. එය මට සිත් පිණවන්නක් ව වැටහේ යි.
1. 2. 6.
නිද්දාතන්‍දී සූත්‍රය
16. සැවැත්නුවර–
[දෙවි:]
නින්ද, තෙමරිය, ඇඟ මැලි කැඩීම, කුසල් දහම්හි නොඇල්ම, බත්මතය යන මෙයින් මෙලොව සත්ත්‍වයන්ට ආර්‍ය්‍යමාර්‍ගය ප්‍රකට නො වේ.
[භගවත්හු:]
නින්ද, තෙමරිය, ඇඟ මැලි කැඩීම, කුසල් දහම්හි නො ඇල්ම, බත්මතය යන මොවුන් වීර්‍ය්‍යයෙන් දුරුකොට (සිටියහුට) ආර්‍ය්‍යමාර්‍ගය පිරිසිදු වේ.
1. 2. 7.
දුක්කර සූත්‍රය
17. සැවැත්නුවර–
[දෙවි:]
බාලයා විසින් මහණදම නොකට හැක්කේ ද, නොඉවසිය හැක්කේ ද වේ. යම් මහණදමෙක්හි බාලයා පසුබසී ද, එහි ඔහුට සම්බාධයෝ බොහෝ වෙති.
[භගවත්හු:]
ඉදින් සිත (වරදින්) නොවළකන්නේ නම් කී දවසක් මහණකම කරන්නේ ද? පාපවිතර්‍කයන්ට වසඟ වූයේ පියවරක් නොහොත් අරමුණක් පාසා පසු බසින්නේ ය.
ඉදිබුවා අවයව සිය කබලෙහි බහන්නාක් මෙන් මහණ තෙමේ මනෝවිතර්‍කයන් (භාවනාලම්බන නමැති කපල්ලෙහි) බහන්නේ නිඃශ්‍රය රහිත වූයේ අනුන් නොවෙහෙසන්නේ (කෙලෙස් පිරිනිවුමෙන්) පිරිනිවියේ කිසිවකුට උපවාද නො කරන්නේයි.
1. 2. 8.
හිරි සූත්‍රය
18. සැවැත්නුවර–
[දෙවි:]
ආජානීය අශ්වයා කසය වළකන්නාක් මෙන් යෙමෙක් නින්‍දා වළකා ද, ලජ්ජාවෙන් පව් වළකන (එබඳු) කිසියම් පුරුෂයෙක් ලොව ඇත් ද?
[භගවත්හු:]
ලජ්ජාවෙන් පව් වැළැක්වූ යම් කෙනෙක් හැමකල්හි සිහි ඇති ව හැසිරෙද්ද, දුකෙහි කෙළවරට පැමිණ විෂමලෝකයෙහි සම ව හැසිරෙද්ද, ඔහු ස්වල්ප දෙනෙකි.
1. 2. 9.
කුටිකා සූත්‍රය
19. සැවැත්නුවර–
[දෙවි:]
කිම මුඹ වහන්සේට කුටියෙක් නැද්ද? කිම (මුඹ වහන්සේට) කැදලි නැද්ද? (කිම මුඹ වහන්සේට) කුලප්‍රවේණීහු නැද්ද? කිම බන්‍ධනයෙන් මිදුනෙහි ද?
[භගවත්හු:]
එකත්නෙන් මට කුටියෙක් නැත. එකත්නෙන් මට කැදලි නැත. එකත්නෙන් මට කුලප්‍රවේණීහු නැත. එකත්නෙන් මම බන්‍ධනයෙන් මිදුනෙමි.
[දෙවි:]
මම කුමක් මුඹ වහන්සේට කුටිය කොට කියම් ද? කුමක් මුඹ වහන්සේට කැදැල්ල කොට කියම් ද? කුමක් මුඹ වහන්සේට කුලප්‍රවේණිය කොට කියම් ද? මම කුමක් මුඹ වහන්සේට බන්‍ධනය කොට කියම් ද?
[භගවත්හු:]
මව මට කුටිය කොට කියහි. බිරිඳ කැදැල්ල කොට කියහි. පුත්‍රයන් කුලප්‍රවෙණි කොට කියහි. තෘෂ්ණාව බන්‍ධනය කොට කියහි.
[දෙවි:]
මැනවි, මුඹ වහන්සේට කුටියෙක් නැත. මැනවි, කැදලි නැත. මැනවි, කුලප්‍රවේණීහු නැත. මැනවි, බන්‍ධනයෙන් මිදුනෙහි යි.