1. 1. 3.
උපනීයති සූත්රය
3. සැවැත්නුවර–
ඉක්බිති ඒ දෙව් තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්ෂාස්ථාන නැත. මේ (ත්රිවිධ) භය මරණයෙහි ලා දක්නේ සුව එළවන්නා වූ පින් කරන්නේ ය.
[භගවත්හු:]
ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට (පිහිට වීමට) රක්ෂාස්ථාන නැත. මේ (ත්රිවිධ) භය මරණයෙහි ලා දක්නා නිවණ පතන පුඟුල්තෙමේ ලෝකාමිෂය දුරු කරන්නේයි.
1. 1. 4.
අච්චෙන්ති සූත්රය
4. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
(පෙරවරු ආදි) කාලයෝ ඉක්ම යෙති. රාත්රීහු පුද්ගලයා මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්රමයෙන් පුරුෂයා හැර යත්. මේ (ත්රිවිධ) භය මරණයෙහි ලා දක්නේ සැප එළවන පින් කරන්නේ ය.
[භගවත්හු:]
කාලයෝ ඉක්ම යති. රාත්රීහු (පුරුෂයා) මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්රමයෙන් පුරුෂයා හැර යත්. මේ බිය මරණයෙහි ලා දක්නේ, නිවන් පතනුයේ (භවත්රය සඞ්ඛ්යාත) ලෝකාමිෂය දුරු කරන්නේයි.
1. 1. 5.
කතිජින්ද සූත්රය
5. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථාවෙකින් සැළකළේ ය:
කෙතෙක් සිඳින්නේ ද? කෙතෙක් දුරු කරන්නේ ද? මත්තෙහි කෙතෙක් වඩන්නේ ද? කෙතෙක් සඞ්ග (ඇලීම්) ඉක්මවූ මහණ තෙමේ ‘ඕඝතිණ්ණ’ය යි කියනු ලැබේ ද?
[භගවත්හු:]
පසක් සිඳින්නේ ය. පසක් දුරු කරන්නේ ය, ඉන් මතුයෙහි පසක් වඩන්නේ ය. සඞ්ග පසක් ඉක්මවූ මහණ තෙමේ ‘ඕඝතිණ්ණ’ය යි කියනු ලැබේ.
1. 1. 6.
ජාගර සූත්රය
6. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
(කීදෙනකුන්) නිදි වරද්දී කීදෙනෙකු නිදි ගත්තාහු වෙත් ද? (කීදෙනකුන්) නිදද්දී කීදෙනෙක් නිදිවරන්නෝ වෙත් ද? කෙතෙකින් (කෙලෙස්) රජස් ගණි ද? කෙතෙකින් පිරිසිදු වේ ද?
[භගවත්හු:]
පස් දෙනෙකුන් නිදි වරද්දී පස්දෙනෙකුන් නිදිගත්තාහු වෙත්. පස්දෙනකුන් නිදද්දී පස්දෙනෙක් නිදි වරන්නෝ වෙත්. පසෙකින් කෙලෙස් රජස් ගණී. පසෙකින් පිරිසිදු වේ යි.