1. 1. 4.
අච්චෙන්ති සූත්රය
4. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
(පෙරවරු ආදි) කාලයෝ ඉක්ම යෙති. රාත්රීහු පුද්ගලයා මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්රමයෙන් පුරුෂයා හැර යත්. මේ (ත්රිවිධ) භය මරණයෙහි ලා දක්නේ සැප එළවන පින් කරන්නේ ය.
[භගවත්හු:]
කාලයෝ ඉක්ම යති. රාත්රීහු (පුරුෂයා) මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්රමයෙන් පුරුෂයා හැර යත්. මේ බිය මරණයෙහි ලා දක්නේ, නිවන් පතනුයේ (භවත්රය සඞ්ඛ්යාත) ලෝකාමිෂය දුරු කරන්නේයි.
1. 1. 5.
කතිජින්ද සූත්රය
5. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථාවෙකින් සැළකළේ ය:
කෙතෙක් සිඳින්නේ ද? කෙතෙක් දුරු කරන්නේ ද? මත්තෙහි කෙතෙක් වඩන්නේ ද? කෙතෙක් සඞ්ග (ඇලීම්) ඉක්මවූ මහණ තෙමේ ‘ඕඝතිණ්ණ’ය යි කියනු ලැබේ ද?
[භගවත්හු:]
පසක් සිඳින්නේ ය. පසක් දුරු කරන්නේ ය, ඉන් මතුයෙහි පසක් වඩන්නේ ය. සඞ්ග පසක් ඉක්මවූ මහණ තෙමේ ‘ඕඝතිණ්ණ’ය යි කියනු ලැබේ.
1. 1. 6.
ජාගර සූත්රය
6. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
(කීදෙනකුන්) නිදි වරද්දී කීදෙනෙකු නිදි ගත්තාහු වෙත් ද? (කීදෙනකුන්) නිදද්දී කීදෙනෙක් නිදිවරන්නෝ වෙත් ද? කෙතෙකින් (කෙලෙස්) රජස් ගණි ද? කෙතෙකින් පිරිසිදු වේ ද?
[භගවත්හු:]
පස් දෙනෙකුන් නිදි වරද්දී පස්දෙනෙකුන් නිදිගත්තාහු වෙත්. පස්දෙනකුන් නිදද්දී පස්දෙනෙක් නිදි වරන්නෝ වෙත්. පසෙකින් කෙලෙස් රජස් ගණී. පසෙකින් පිරිසිදු වේ යි.
1. 1. 7.
අප්පටිවිදිත සූත්රය
7. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යම් කෙනෙකුන් විසින් (චතුස්සත්ය) ධර්මයෝ අවබෝධ නොකරණ ලද්දාහු ද? (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලබත් ද? නිදිගත්තා වූ ඔහු නුපුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.
[භගවත්හු:]
යම් කෙනෙකුන් විසින් (චතුස්සත්ය) ධර්මයෝ අවබෝධ කරණ ලද්දාහු ද? (ඔහු) පරවාදයන්හි නො පමුණුවනු ලබත්. (සර්වඥාබුද්ධාදි) බුදුවරයෝ මනා කොට දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත්.
1. 1. 8.
සුසම්මුට්ඨ සූත්රය
8. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යම් කෙනෙකුන්ගේ (චතුස්සත්ය) ධර්මයෝ වෙසෙසින් නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලැබෙත්. ඔහු නිදි ගත්තාහු නො පුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.
[භගවත්හු:]
යම් කෙනෙකුන්ගේ (චතුස්සත්ය) ධර්මයෝ නො නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි නොපමුණුවනු ලැබෙත්. (සර්වඥබුද්ධාදි) බුදුවරු මැනවින් දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත් යී.
1. 1. 9.
නමානකාම සූත්රය
9. සැවැත්නුවර–
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
මෙහි මානය කැමැත්තහුට දමයෙක් (=හිතෙහි සන්හුන් පැවැත්මෙක්) නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් (සිවුමග නුවණෙක්) නැත. වනයෙහි හුදකලා ව ප්රමත්ත ව වෙසෙන්නේ සසර පරතෙරට හෙවත් නිවණට නො පැමිණෙන්නේ ය.
[භගවත්හු:]
මානය දුර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්රමත්ත ව හුදකලා ව වෙනෙහි වෙසෙන හෙතෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ යී.