23. ඒකත්‍වය (වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන සතර ස්කන්‍ධ) ඒකත්‍ව වශයෙන් හඳුනයි. ඒකත්‍වය ඒකත්‍ව වශයෙන් හැඳින ඒකත්‍වය ආත්මය යි හඟියි. ඒකත්‍වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ඒකත්‍වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “ඒකත්‍වය මාගේය” යි හඟියි. ඒකත්‍වය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඒකත්‍වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
24. නානාත්‍වය (පඤ්චස්කන්‍ධය) නානාත්‍ව වශයෙන් හඳුනයි. නානාත්‍වය නානාත්‍ව වශයෙන් හැඳින නානාත්‍වය ආත්මය යි හඟියි. නානාත්‍වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. නානාත්‍වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “නානාත්‍වය මාගේය” යි හඟියි. නානාත්‍වය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නානාත්‍වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
25. සර්‍වය (සියලු සත්කායධර්‍ම) සර්‍ව වශයෙන් හඳුනයි. සර්‍වය සර්‍ව වශයෙන් හැඳින සර්‍වය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සර්‍වයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. සර්‍වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “සර්‍වය මාගේය” යි හඟියි. සර්‍වය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: සර්‍වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
26. නිර්‍වාණය (පරමදිට්ඨධම්මනිබ්බානය) නිර්‍වාණ වශයෙන් හඳුනයි. නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් හැඳින නිර්‍වාණය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නිර්‍වාණයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. නිර්‍වාණයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යන ආදීන්) හඟියි. “නිර්‍වාණය මාගේය” යි හඟියි. නිර්‍වාණය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නිර්‍වාණය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
(අශ්‍රැතවත් පෘථග්ජනයාගේ වශයෙන් දෙසූ ප්‍රථම භූමි පරිච්ඡේදය යි)
(2)
27. මහණෙනි, ශෛක්‍ෂ වූ නොපැමිණි අර්‍හත්ත්‍වය ඇති යම් මහණෙක් නිරුත්තර වූ යෝගක්‍ෂේමසංඛ්‍යාත රහත්බව පතමින් වෙසේද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් වෙසෙසින් දනියි. පෘථිවිය පෘථිවි වශයෙන් මැනැවින් දැන (“මම පෘථිවි ධාතුව වෙමි”යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවියෙහි (පිහිටියෙමි යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “පෘථිවි ධාතුව මාගේ ය”යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුව (දෘෂ්ටිවශයෙන්) අභිනන්‍දනය නො කරන්නේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) අභිනන්‍දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් (පෘථිවි ධාතුව රහත්මගින්) පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.
28. ආපෝධාතුව… තේජෝධාතුව… වායෝධාතුව… භූතයන්… දෙවියන්… පජාපතීහු… බ්‍රහ්මයා… ආභස්සරයන්… සුභකිණ්ණයන්… වෙහප්ඵලයන්… අභිභූන්… අකාසානඤ්චායතනය… විඤ්ඤාණඤ්චායතනය… ආකිඤ්චඤ්ඤායතනය… නේවසඤ්ඤානාසඤ්ඤායතනය… රූපායතනය… ශබ්දායතනය… ගන්‍ධරසඵොට්ඨබ්බායතනය… විඤ්ඤාතය… ඒකත්තය… නානත්තය… සබ්බය… දිට්ඨධම්මනිබ්බානය… නිබ්බාන වශයෙන් වෙසෙසින් දනී. (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් වෙසෙසින් දැන නිර්‍වාණය ආත්ම ය යි (දිට්ඨි වශයෙන් මඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්‍වාණයෙහි ආත්මය පිහිටියේ යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්‍වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “නිර්‍වාණය මාගේ ය” යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්‍වාණය (දිට්ඨිමඤ්ඤනායෙන් අභිනන්‍දනය නො කරන්නේ නමුදු තණ්හාමානමඤ්ඤනායෙන්) අභිනන්‍දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් දාෂ්ටධර්‍මනිර්‍වාණය පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.
(ශෛක්‍ෂයා පිළිබඳ විවට්ට වශයෙන් දේශිත ද්විතීයභූමි පරිච්ඡේදය යි)
(3)
29. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවූ ආශ්‍රව ඇත්තේ වැස නිම කළ බඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි ස්වාර්‍ත්‍ථ (රහත්පල) ඇත්තේ ගෙවුණු භවබන්‍ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි (තෘෂ්ණාදි වශයෙන්) නො හඟියි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි නො හඟියි. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.
30. අබ්ධාතුව… තේජස… (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්‍වාණය නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය (තණ්හාදිමඤ්ඤනායෙන්) නො හඟියි. නිර්‍වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. නිර්‍වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්‍වාණය මාගේ ය”යි නො හඟියි. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.
(ක්‍ෂීණාශ්‍රව වශයෙන් ප්‍රථමනයයෙහි තෘතියභූමි පරිච්ඡේදය යි)