5. 8.
945. ඉතා උසස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළු ගෙවල්හු සත් සියයෙක් වෙත්.
946. එහි ඔබ සිටිනෙහිය. පානය කරන්නෙහිය. අනුභව කරන්නෙහිය. දිව්ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්යමය වූ පස්කම් ගුණයෝ වෙත්. ස්වර්ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
947. කවර හේතුවකින් තට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
948. මහත් අනුභාව ඇති දිව්යපුත්රය, තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් දිලියෙන පුණ්යර්ද්ධි ඇති වෙහි ද?
949. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්යපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්යඵලය යම්කිසි කර්මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසීය.
950. යම්බඳු දැයක් දේ නම් එයට එබඳු වූ ම ඵලය නො ලැබෙයි. (විද්යමාන වූ) යම් කිසිවක් ම දේ නම් ඒ (නිවැරැදි දැය) දීම ම උතුම් වෙයි. ම විසින් (චීවරකර්මය පිණිස) හිදියෙක් දෙනලදී. ඒ දානය ම (මට) උතුම් විය.
951. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
952. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
සුචිවිමාන යි.
5. 9.
953. ඉතා උසස් වූ පියුම්රා මිණිඈයෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පස දොළොස් යොදුනක් තැන වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙයි.
954. එහි (තෝ) සිටිනෙහි ය, පානය කරන්නෙහි ය, අනුභව කරන්නෙහි ය, දිව්ය වීණාවෝ ද මිහිරිසේ වාදනය වෙති. මෙහි දිව්යමය වූ පස්කම් ගුණයෝ වෙති. ස්වර්ණාභරණයෙන් විභූෂිත වූ නාරීහු ද රඟ දක්වත්.
955. කවර හේතුවකින් තට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
956. මහත් අනුභාව ඇති දිව්යපුත්රය, තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තී වෙහි ද?
957. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්යපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවසී ය.
958. මම පෙරැ අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතරැ මිනිස් වූයෙමි.
959. පහ වූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ නො කැලඹුණු සිත් ඇති භික්ෂු නමක් දිටිමි. උන්වහන්සේට පහන් වූයෙම් සියතින් හිදියක් පිදුවෙමි.