5. 10.
962. (දිව්ය පුත්රය) ඉතා සුදු කඳක් ඇති මහත් දළ ඇති නිදොස් වූ බල ඇති මහාජව ඇති මොනවට සැරසූ නැග යාමට සුදුසු වූ උතුම් ඇතකු පිට නැගී අහසින් මෙහි පැමිණියෙහි.
963. ඇත්රජුගේ දෙදළෙහි පැහැදි දිය ඇති සුපිපි පියුම් ඇති දෙපොකුණෙක් මැවිණ. පියුම් මත පසඟතුරු මුළුහු වැයෙති. මේ මනහර දෙවඟනෝ ද නටත්.
964. මහත් අනුභාව ඇති දිව්යපුත්රය (තෝ) දිව්යර්ද්ධියට පැමිණියෙහි මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙසේ දිලියෙන පුණ්යර්ද්ධි ඇති වෙහි ද?
965. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්යපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවැසී ය.
966. පහන් සිත් ඇති මම නටුයෙන් ගිලිහුණු මල් අටක් සියතින් කාශ්යප බුදුරදුන්ගේ සෑයෙහි පිදුවෙමි.
967. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
968. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද? (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
නාගවිමන යි.
5. 11.
969. සියල්ල සුදු වූ ඇතුනට උතුම් වූ මහත් ඇතකු පිට නැගී ස්ත්රී සමූහයා විසින් පිරිවරන ලද්දේ දවහත් තරුව මෙන් සියලු දිගුන් බබුළුවමින් වනයෙන් වනයට යෙහි.
970. කවර හේතුවකින් තට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනකින් තාගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද? එ සම්පත්තීහු (කවර පිනකින්) තට පහළ වෙත් ද?
971. මහත් අනුභාව ඇති දිව්යපුත්රය තා විචාරමි. මිනිස් වූයෙහි කවර පිනක් කෙළෙහි ද? තාගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තෙහි වෙහි ද?
972. වඞ්ගීස තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දිව්යපුත්ර තෙමේ තුටුසිත් ඇත්තේ මේ පුණ්යඵලය යම් කවර කර්මයක්හුගේ දැයි පැන විචාරන ලද්දේ (මෙසේ) පැවැසීය.
973. මම මිනිසුන් අතරැ මිනිස් වූයෙම් පසැස් ඇති බුදුරදුන්ගේ උපාසකයෙක් වීමි. පණිවායෙන් දුරුවූයෙම් වෙමි. ලෝකයෙහි නුදුන් දෙය හැම ලෙසින් දුරුකෙළෙමි.
974. මත්පැන් නො බීමි. බොරු නො කීමි. සිය බිරිය සමගම සතුටුවූයෙම් වෙමි. පහන් සිත් ඇත්තෙම් අහර ද පැන් ද සකස් කොට මහදන් දුනිමි.
975. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
976. මහත් අනුභාව ඇති ශ්රමණයන් වහන්ස මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්යර්ද්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
ද්විතීය නාගවිමාන යි.
5. 12.
977. (එම්බා දිව්යපුත්රය) සර්වධවල වූ දිව්යමය වූ හස්තිවාහනයෙකින් පැමිණියා වූ කවරෙක් අහසෙහි තූර්ය්යවාදනඝෝෂා ඇති ව පුදනු ලැබේ ද?
978. දෙවියෙක් වෙහි ද? ගන්ධර්වයෙක් වෙහි ද? නැතහොත් පුරින්ද ද නම් ශක්රයා වෙහි ද? එය නො දන්නමෝ තා විචාරමු. අපි එය කෙසේ දනිමු ද?