4. 8.
784. (එම්බා දෙව්දුව) තීගේ දිව්‍යමය වූ අඹවනය සිත්කලු ය. මෙහි නොයෙක් තුරු රැවින් ඝෝෂිත වූ අප්සරා සමූහයා විසින් හඬ නැගුණු මහත් වූ පහයෙක් වෙයි.
785. මෙහි රන්මුවා මහපහනෙක් නිතර දිලෙයි. හාත්පස වස්ත්‍රමය ඵලඇති වෘක්‍ෂයන්ගෙන් පිරිවරණ ලද්දේ ය.
786. කවර හේතුවකින් තිට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නාවූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළවෙත් ද?
787. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
788. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
789. මම පෙර අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතරැ මිනිස් දුවක් වූවා අඹරුක්වලින් පිරිවැරුණු විහාරයක් සඟුන්උදෙසා කරවීමි.
790. විහාරය නිමි කල්හි පූජාව නිමි කල්හි වස්ත්‍රමයඵල කොට අඹරුක් සරසා,
791. එහි පහනක් දල්වා උතුම් වූ සඞ්ඝයා වළඳවා පහන් වූවා සියතින් එය සඞ්ඝයාට පිළිගැන්වීමි.
792. (වහන්ස) එයින් මගේ අඹවනය සිත්කලු ය. මෙහි නොයෙක් තුරු රැවින් හඬ නැගුණු දිව්‍යප්සරා සමූහයෙන් ඝෝෂිත වූ මහත් පහයෙක් වෙයි.
793. මෙහි රන්මුවා මහ පහනෙක් නිතර දැල්වෙයි. හාත්පස වස්ත්‍රමය ඵල ඇති වෘක්‍ෂයන්ගෙන් පිරිවැරුණේ ය.
794. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
795. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
අම්බවිමාන යි.
4. 9.
796. රන්වන් වත් ඇති රන්වන් දද ඇති රන්වන් අබරණින් සැරසුණු රන්සඳුන් අලෙව්දුන් සිරුරු ඇති රන්උපුල්මල් පැලඳි,
797. රන් පහයෙන් හා රනින් පිරිකෙව් කළ යහනින් හෙබි රන් ආසන ඇති රන්වන්බඳුන් ඇති රන්සත් ඇති රන්රිය ඇති රන්අසුන් ඇති රන් වල් විදුනා ඇති.
798. සොඳුර, තී පෙර මිනිස්ලොවැ කිනම් කුශලකර්‍මයක් කෙළෙහි ද? (එම්බා) දෙව්දුව, විචාරනලද්දී මේ කිනම් කර්‍මයක්හුගේ විපාකයක් දැ යි කියව.
799. සක්රජතුමනි, කෝසාතකී (වැටකොළු) යි ප්‍රසිද්ධ වැලක් ඇත්තේ ය. බලාපොරොත්තු රහිත වූ මම ඒ වැලේ මල් සතරක් බුදුරජුන්ගේ ධාතු චෛත්‍යය කරා ගෙන ගියෙමි.
800. ශාස්තෲන් වහන්සේගේ ධාතුශරීරය උදෙසා වෙසෙසින් පහන් සිතින් ඒ සෑය කෙරෙහි ගිය සිත් ඇත්තී ඒ දෙන ආ මඟ නො දැක්කෙමි.
801. එහෙයින් (ඒ) දෙන සෑය වෙත නො ගියසිත් ඇති (අසම්පූර්‍ණවූ පූජාමය මනදොළ ඇති) මා මැරී ය. ඉදින් මම ඒ පින් රැස් කෙළෙම් නම් මෙයට වඩා උතුම් සැපතක් වන්නේ යයි සිතමි.
802. දේවේන්‍ද්‍රය, මඝවත් නම් දේවොත්තමය, ඒ කර්‍මයෙන් මිනිස් සිරුර හැරැපියා ඔබගේ සහභාවයට පැමිණියා වෙමි.
803. තිදස් පුරට අධිපති වූ මඝවත් නම් දේවශ්‍රේෂ්ඨ තෙමේ මෙබස් තව්තිසා වැසියන් පහදවනුයේ මාතලී දෙව්පුත්හට මෙසේ කීයේ ය.