4. 5.
720. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
721. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළවෙත් ද?
722. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි, කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
723. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
724. මම අන්‍ධකවින්‍ද රටදී සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන්ට තෙලින් දුහුන් කරනලද කෝලසම්පාක නම් බෙහෙත් කැඳක් දුනිමි.
725. තිප්පිලි සුදුලූනු සුවඳ හොටින් මිශ්‍ර වූ බෙහෙත් කැඳක් ඍජු වූ බුදුරජුන් වෙත වෙසෙසින් පහන් සිතින් දුනිමි.
726. සියලු අඟපසඟින් හොබනා වූ සැමියාහට නො ලමු දැකුම් ඇති යම් ස්ත්‍රියක් තොමෝ සක්විති රජකුට අගමෙහෙසි බව කරන්නී ද? එය මේ හඹුදනෙහි සොළොස්වන කලාවෙන් කලාවටත් නො අගී.
727. සියක් දහසක් රන්නික ද සියක් දහසක් අස්සු ද සියක් දහසක් අස් වෙළෙඹුන් යෙදූ රිය ද පැළැඳි මිණි කොඬොල් ඇති සියක් දහසක් කන්‍යාවෝ ද මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
728. ශ්‍රේෂ්ඨ වූ රියහිස් වැනි දළ ඇති ථාමජව පරාක්‍රමයෙන් වැඩෙන රුවන් මුවා ගෙල බරණින් සැරසූ රන්එබූ ඇත් අබරණින් හොබනා සියයක් හේමවත ඇත්හු මේ කැඳදුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
729. මෙලොව යමෙක් සිවුමහදිවයිනට අධිපති සක්විතිරජබව කෙරේද, එය මේ කැඳ දුන් ඵලයෙහි සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගී.
කඤ්ජිකදායිකා විමාන යි.
4. 6.
730. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දස දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
731. නටන්නා වූ ඒ තිගේ අඟපසඟින් කන්කලු වූ මනරම් දිව්‍ය ශබ්දයෝ සර්‍වප්‍රකාරයෙන් නික්මෙති.
732. නටන්නා වූ ඒ තිගේ අඟ පසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිවසුවඳ සර්‍වප්‍රකාරයෙන් හමයි.
733. තීගේ ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
734. මඳ සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරුනද සේ ඇසේ.
735. තිගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමෙක් වේද, එහි සුවඳ (සුපිපි) මඤ්ජුසක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිරැ හමයි.
736. ඒ පිවිතුරු සුවඳ අඝ්‍රාණය කෙරෙහි, ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැයි කියව.
737. වහන්ස, මාගේ යෙහෙළි (වූ විසාඛා) තොමෝ සැවැත්නුවරැ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ය. එහි පහන් වූ මම ඒ මහත් වූ ප්‍රාසාදය ද මට ප්‍රිය වූ බුද්ධප්‍රමුඛ සඞ්ඝයා උදෙසා කළ එබඳු මාහාධනපරිත්‍යාගය ද දැක පින් අනුමෝදන් වීමි.
738. ඒ මාගේ පිරිසිදු අනුමෝදනායෙන් දැකුම්කලු අසිරිමත් මේ විමන ලබන ලදී. මාගේ පුණ්‍යර්ධියෙන් (ඒ විමන) අහසෙහි හාත්පස සොළොස් යොදුන් තැන් පැතිරැ පවතී.
739. කොටස් විසින් බෙදූ ප්‍රමාණවත් කරන ලද කුළුගෙවල් ඇති බබළන මාගේ නිවෙස්හු හාත්පස සියක් යොදුන් තැන් බබළත්.