3. 2.
297. (තෝ) සඳ හිරු මෙන් අහස සහිත පොළොව එකලු කොට අතිශයින් බබළහි. ශෝභාවෙන් ද ශරීර වර්ණයෙන් ද පරිවාරයෙන් ද ස්වකීය අනුභාවයෙන් ද ඉන්ද්රයා සහිත තව්තිසා වැසි දෙවියන් ඉක්මවා බබළන බ්රහ්මයා මෙනි.
298. උපුල් මල්දම් දරන රුවන්මුවා මලින් නැගුණු රැළි ඇති රන්වන් සිවි ඇති උතුම් වත් දරන සැරසුණු සොඳුරු දෙව්දුව, මා වඳින තී කවරැ යි විචාරමි.
299. තෝ පෙරැ අත්බැව්හි මිනිස්දුවක් වූවා කිනම් කර්මයක් කෙළෙහි ද? මැනැවින් දන් දෙන ලද ද? නැතහොත් සිල් රක්නා ලද ද? කුමකින් යසස් ඇතිව සුගතියෙහි උපන්නී වෙහි ද? එම්බා දෙව්දුව, විචාරන ලද්දී මේ ව්පාකය කවර කර්මයක්හුගේ දැ යි කියව.
300. වහන්ස, මෙකල්හි මෙගම්හි ම (භික්ෂුනමක්) පිඬු පිණිස අප ගෙට එළඹියේ ය. ඉක්බිති උන්වහන්සේට පහන් සිතැත්තී ඉමහත් ප්රීතියෙන් උක් දඞු කඩක් පිදුවෙමි.
301. පසුව නැඳි තොමෝ, ලෙහෙලිය උක්දඞුකඩ කොහි දැමුවෙහි දැ යි මා විචාළා ය. එය මා විසින් බැහැර නො දමන ලදී. නො ද අනුභව කරන ලදි. මම සන්සුන් කෙලෙසුන් ඇති භික්ෂුනමක්හට පිදුවෙමි.
302. ගෙහි මේ අධිපතිභාවය තීගේ ද නැතහොත් මාගේ දැ යි මෙසේ නැඳි තොමෝ මට පරිභව කළා ය. නැවත පුටුවක් ගෙන පහර දුනි. කලුරිය කළා වූ මම එයින් සැව දෙව්දුවක් වූවා වෙමි.
303. මා විසින් ඒ කුශල කර්මය පමණක් කරණ ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශල කර්මය කරණ කොට ගෙන (මේ) සැප විඳිමි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි.
304. මා විසින් ඒ කුශල කර්මය පමණක් කරණ ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශල කර්මය කරණ කොට ගෙන (මේ) සැප විඳිමි. සක් දෙවිඳු විසින් ගෝපිත වූ තව්තිසා වැසි දෙවියන් විසින් රක්නාලද මම පස්කම් ගුණයෙන් යුක්ත වූවා වෙමි.
305. මාගේ උක්දඞු පූජාව මහත් විපාක ඇත. එයින් මෙබඳු අනල්ප වූ පුණ්යඵලයෙක් වෙයි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි
306. ඒ මාගේ උක්දඞු පූජාව මහත් අනුභාව ඇත. එයින් මෙබඳු අනල්ප වූ පුණ්යඵලයෙක් වෙයි. සක් දෙවිඳුන් විසින් ගෝපිත වූ තව්තිසා වැසි දෙවියන් විසින් රක්නාලද මම නදුන් වෙනෙහි සක්දෙව් රජු මෙන් (ප්රීත වෙමි)
307. වහන්ස මම කාරුණික වූ නුවණැත්තා වූ ඒ ඔබ වෙත පැමිණ වැන්දෙමි. නීරෝග බව ද විචාළෙමි. ඉක්බිති පහන්සිත් ඇති මම ඉමහත් ප්රීතියෙන් ඔබ වහන්සේට උක්දඞුකඩක් පූජා කෙළෙමි.
උච්ඡුදායිකා විමාන යි.
3. 3.
308. මහත් අනුභාව ඇති දෙව්දුව, මිණියෙන් හා රනින් විසිතුරු වූ මලින් ගැවසීගත් මහත් යහනක් වූ උතුම් පළඟෙහි කුදුමහත් ඍද්ධි විකුර්වණය කරන්නී එහි සිටිනෙහි ය.
309. තීගේ මේ අප්සරාවෝ හාත්පස නටති, ගයති, සතුටු කරවත්. මහත් අනුභාව ඇති දෙව්දුව, දිව්යර්ධියට පැමිණියා වෙහි. මිනිස් වූවා කිනම් පිනක් කෙළෙහි ද? කවර හේතුවකින් මෙසේ දිලිසෙන පුණ්යර්ද්ධි ඇත්තී වෙහි ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.