3. 10.
681. (එම්බා දෙව්දුව) තී රමණීය වූ සිත්කලු වූ පරසතු නම් කොබෝලීල මල් රැගෙන දිවකුසුම් දම් ගොතන්නී ගයන්නී මැනැවින් සතුටු වෙහි.
682. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් කන්කලු වූ මනරම් දිව්‍ය ශබ්දයෝ සර්‍වප්‍රකාරයෙන් නික්මෙති.
683. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිව්‍යගන්‍ධයෝ සර්‍වප්‍රකාරයෙන් හමත්.
684. (තීගේ) ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරු නද සේ ඇසේ.
685. මඳ සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරු නද සේ ඇසේ.
686. තීගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමක් වේ ද, එහි සුවඳ (සුපිපි) මඤ්ජුස්සක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිර හමයි.
687. ඒ පිවැතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි. ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, (මා විසින්) විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
688. මම පබසර කැලුම් ඇති පැහැයෙන් හා සුවඳින් යුක්ත වූ හෝපලු මල්දමක් බුදුරජුන්ට පිදුවෙමි.
689. මම බුදුරදුන් විසින් පසස්නා ලද ඒ කුශල කර්‍මය කොට පහ වූ ශෝක ඇතියා සුව ඇතියා නිරෝග වූවා වෙසෙසින් සතුටු වෙමි.
පාරිච්ඡත්තක විමන යි.
තෙවෙනි පාරිච්ඡත්තක වර්‍ගය නිමි.
එහි උද්දානය:
උළාර යැ, උච්ඡුදායිකා යැ, පල්ලඞ්ක යැ, ගුත්තිල ය සමග ලතා යැ, දද්දල්ලමානා යැ, සේසවතී යැ, මල්ලිකා යැ, විසාලක්ඛි යැ, පාරිච්ඡත්තකයැ යි එයින් වර්‍ගය කියනු ලැබේ.
4. මඤ්ජෙට්ඨක වර්‍ගය
4. 1.
690. රන් වැලි අතුළ රතුපළිඟුමිණිමුවා විමන්හි මැනැවින් වැයූ පසඟතුරු රැවින් ඇලෙහි.
691. (පෙර පිනෙන්) නිර්මිත රුවන්මුවා ඒ විමනින් බැස සියලු කලට සුදුසු සැප ඇති හැම කල්හි පිපී සිටි සල්වනයට පිවිසෙහි.
692. (එම්බා) දෙව්දුව, (තෝ) යම් යම් සල් රුකක්මුලැ සිටිහි ද, ඒ ඒ උතුම් රුක නැමී මල් මුදාලයි.
693. සුළඟින් සැලෙන මඳ සුළඟින් සෙමෙන් කම්පා කරන ලද සල්වනය (මොනර කොවුල් ආදි) විහඟුන් විසින් සෙවුනේ වෙයි. (එහි) සුගන්‍ධය මඤ්ජුස්සක රුක සේ සියලු දිගුන් පැතිර හමයි.
694. ඒ පිවිතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි. ඒ දිව්‍යමය රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරනලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හු ගේ දැයි කියව.
695. මම පෙරැ මිනිසුන් කෙරෙහි මිනිස් දුවක් වූවා සැමි කුලයෙහි දැස්සක් වීමි. (ඒ මම) වැඩහුන් බුදුරජුන් දැක සල්මලින් විසිරැවීමි.
696. මම පහන් සිත් ඇත්තී මැනැවින් කළ සල්මල් බහුල කොට ඇති මුදුන්මල්කඩක් බුදුරජුන්ට සියතින් පිදීමි.
697. මම බුදුරජුන් විසින් පසස්නාලද ඒ කුශලකර්‍මය කොට පහවූ ශෝක ඇතියා සුව ඇතියා නිරෝගවූවා වෙසෙසින් සතුටු වෙමි.
මඤ්ජෙට්ඨක විමාන යි.
4. 2.
698. ප්‍රභාස්වර වූ උතුම් වූ වර්‍ණයෙන් බබළන අතිරක්ත වූ වස්ත්‍ර හැඳි මහත් ඉදුහ ඇති සඳුන් අලෙව් කළාක් වැනි මනරම් සිරිරි අවයව ඇති (එම්බා) හොබනා දෙව්දුව, මා වඳනෙහි. තී කවරක් ද?
699. නඳුනුයනෙහි සක්දෙව් රජු සේ තී ඇසනෙකැ හුන්නී බබළන්නෙහි ද, තිගේ (මේ) පලඟ මහඟු ය, නන් රුවනින් විසිතුරු කරන ලද්දේ මනහර ය.
700. සොඳුර, පෙරැ තී කිනම් සුචරිතයක් කෙළෙහි ද? දෙව්ලොවැ කිනම් කර්‍මයක්හුගේ විපාකය (මෙසේ) අනුභව කෙරෙහි ද? (එම්බා) දෙව්දුව, විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.