2. 3.
183-4. වහන්ස, පිඬු පිණිස හැසිරෙන්නා වූ ඔබ නිහඬව සිටිය දී මෙරමා ගෙය ඇසුරු කළ දිළිඳු වූ දීන වූ යම් ස්ත්‍රියක් පහන් වූවා සියතින් ඔබ වහන්සේට දමුබතක් පිදී ද ඕ තොමෝ මිනිස්සිරුර හැර (උපත් විසින්) කිනම් දිශාවකට ගියා ද?
185-6. (සක්දෙව් රජුනි,) නිහඬ ව මා පිඬු පිණිස හැසිරෙමින් සිටිය දී මෙරමා ගෙය ඇසුරු කළ දිළිඳු වූ දීන වූ යම් ස්ත්‍රියක් පහන් වූවා සියතින් මට දමුබතක් පිදී ද, ඕ තොමෝ මිනිස්සිරුර හැර මිනිස් දුබග බැවින් මිදුණී මෙයින් ච්‍යුත වූවා ය.
187. මහත් ඍද්ධි ඇති නිර්‍මාණරතී නම් දෙව් කෙනෙක් ඇත. දමුබත් දුන් ඒ ස්ත්‍රී තොමෝ ඔවුනතර සුවපත් වූවා සතුටු වෙයි.
188. මහසුප් තෙරුන් කෙරෙහි පිහිටුවන ලද ඒ දීන වූ ස්ත්‍රියගේ දානය අනේ පුදුමයි. සිඟීමෙන් මෙරමා ගෙයින් ගෙනෙනලද දියයුතු දෙයින් දක්‍ෂිණාව සමෘද්ධ වූවා ය. පුදුමයි.
189. සියලු අඟපසඟින් හොබනා වූ සැමියාට ලමු නො වූ දැකුම් ඇති යම් ස්ත්‍රියක් තොමෝ සක්විති රජක්හට අගමෙහෙසිබව කරන්නී ද, මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවටත් එය නො අගී.
190. සියක් දහසක් රන් නික ද සියක් දහසක් අස්සු ද සියක් දහසක් අස්වෙළෙඹුන් යෙදූ රිය ද පැළැඳි මිණි කොඬොල් ඇති සියක් දහසක් කන්‍යාවෝ ද මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
191. ශ්‍රේෂ්ඨ වූ රියහිස් වැනි දළ ඇති ථාමජව පරාක්‍රමයෙන් වැඩෙන රුවන්මුවා ගෙළබරණින් සැරැසූ රන් එබූ ඇත්අබරණින් හොබන සියයක් හේමවත ඇත්හු මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
192. මෙලොව යමෙක් සිවුමහදිවයිනට අධිපති සක්විති රජබව කෙරේ ද, එය මේ දමුබත් දානඵලයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවකුදු නො අගී.
ආචාමදායිකාවිමාන යි.
2. 4.
193. එම්බා සැඬොලිය, යසස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයන් වඳුව. ශෛක්‍ෂ-අශෛක්‍ෂ බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධ ඍෂිනට වඩා උතුම් වූ නොහොත් විපස්සී ආදී බුදුවරයන් අතර සත්වැනි වූ ඍෂි ශ්‍රේෂ්ඨයන් වහන්සේ තිට අනුකම්පා පිණිස ම මෙහි වැඩ සිටිසේක.
194. තාදී වූ රහතුන් වහන්සේ කෙරෙහි සිත පහදුව බඳැදිලි ඇත්තී වහා වඳුව, තීගේ ජීවිතය ඉතා ස්වල්ප ය.
195. පැසුළු සිරුරු දරන වැඩු සිතැත්තහු විසින් මෙහෙයවන ලද සෙඩොලී යසස් ඇති ගෞතම බුදුරදුන්ගේ පා වැන්දා ය.
196. ගවදෙනක් තොමෝ අවිද්‍යාන්‍ධකාරයෙන් අඳුරු වූ ලෝකයෙහි නැණලු දෙන බුදුරජුන් බඳැදිලි ව වඳිමින් සිටි ඒ සැඩොලිය ඇණ මැරුවා ය.
197. වීරයන් වහන්ස, දිව්‍යර්ධියට පැමිණි මම මහත් අනුභාව ඇති ක්‍ෂය කළ ආසවයන් ඇති පහවූ කෙලෙස් රජස් ඇති තෘෂ්ණා රහිත වෙනෙහි එකලාව විවේකී ව වැඩහුන් ඔබ වහන්සේ වඳිමි.
198. සොඳුරු දෙව්දුව, රන්වන් පැහැ ඇති සිය සිරුරුපැහැයෙන් දිලෙන පිරිවර ඇති නොයෙක් ලෙසින් විසිතුරු වූ දිවසරන් විසින් පිරි වරනු ලැබූ කිනම් දෙවඟනක් වූ තෝ විමනෙන් බැස මා වඳනෙහි ද?