2. 11.
276. එම්බා දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි.
277. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
278. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තිගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
279. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මෙසේ පැවැසූ ය.
280. මම පෙර අත්බැව්හි මිනිස් ලොව මිනිසුන් අතර මිනිස් දුවක් වූවා පහවූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන්වූ නො කැලඹුණු සිත් ඇති රහත් නමක් දිටිමි. මම උන් වහන්සේට පහන් වූවා සියතින් භික්‍ෂාව දුනිමි.
281. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
282. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම්ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවා යයි.
දුතියභික්ඛාදායිකා විමාන යි.
දෙවෙනි චිත්තලතා වර්‍ග යි.
එහි උද්දානය:
දාසී යැ, ලඛුමා යැ, ආචාමදායිකා යැ, චන්ඩාලී යැ, හද්දිත්‍ථි යැ, සෝණදින්නා යැ, උපෝසථා යැ, නන්‍දා යැ, සුනන්‍දා යැ, භික්ඛදායිකා දෙක යැ යන මෙයින් වර්‍ගය කියනු ලැබේ.
පළමුවන බණවර යි.