“මහණෙනි, (වේදනාදීන් මෙන් හේතුප්‍රත්‍යය සමවායයෙන්) නො උපන්, (කාරණයෙන් තොර ව තෙමේ ම) පහළ නොවූ, කිසිවෙකින් නො කරන ලද, ප්‍රත්‍යයයෙන් අසංස්කෘත වූ නිර්‍වාණ ධර්‍මය (පරමාර්‍ත්‍ථ වශයෙන්) ඇත. මහණෙනි, මේ හේතුප්‍රත්‍යයයෙන් නො උපන්, නො පහළ වූ නො කරන ලද, අසංස්කෘත වූ නිර්‍වාණධාතුව (පරමාර්‍ත්‍ථවශයෙන්) අවිද්‍යමාන නම්, මෙහි හේතුප්‍රත්‍යයයෙන් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්‍ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) නො පැනෙන්නේ ය. (නො ලැබියැ හැකි වන්නේ ය.) මහණෙනි, යම් හෙයෙකින් ම නො උපන්, නො පහළ වූ, නො කරන ලද, අසංස්කෘත ධාතුවෙක් පරමාර්‍ත්‍ථ වශයෙන් ඇත් ද, එහෙයින් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්‍ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) පැනේ.”
8. 4.
සිවුවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිර්‍වාණප්‍රතිසංයුක්ත ධර්‍ම කථායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්‍ෂූහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා), නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
(තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) සංස්කාරයන් ඇසුරු කළාහට (සුවදුක් ආදිය උපන් කල්හි) සිත්සතන්හි කම්පනය වේ. (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) සංස්කාරයන් ඇසුරු නොකළාහට (හෙවත් විවසුන් වඩන්නාහට තෘෂ්ණාදෘෂ්ටීන් අනිශ්‍රිත බැවින්) කම්පනයෙක් නැත. කම්පනය නැති කල්හි සිත්සතන්හි සංහිඳීම වේ. සංහිඳීම ඇති කල්හි විවසුන් වඩනුවාහට අර්‍හත්ත්‍ව මාර්‍ගක්‍ෂණයෙහි දී කාමාදි භවයන්හි නැමීම (හෙවත් තෘෂ්ණාව) නො වේ. භවයන්හි නැමීම නැති කල්හි පිළිසිඳ විසින් මේ භවයට ඊමෙක් මෙයින් අන් භවයකට යෑමෙක් නො වේ. භවයෙන් භවයට ඊමක් නැති කල්හි ච්‍යුති උප්පත්ති (මරණයට අනතුරු වැ ඉපැත්ම) නො වේ. ච්‍යුති උප්පත්ති නැති කල්හි මෙහි (කාමභවයේ) ද එහි (අරූපභවයේ) ද මෙ දෙක අතරේ (රූපභවයේ) ද පැවැත්ම නැත. මෙය ම දුකේ කෙළවර ය.”
8. 5.
චුන්‍ද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරි සරා වඩනා සේක්, පාවා නුවරට පැමිණ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාවා නුවරැ චුන්‍ද කාර්‍මාර පුත්‍රයාගේ අඹවනයෙහි වැඩ වසන සේක.
2. “භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයක් හා මල්ල රටැ සැරි සරන සේක්, පාවා නුවරට වැඩි සේක්, පාවානුවර සමීපයේ වූ මාගේ අඹවෙනෙහි වැඩ වසන සේක් ලු”යි චුන්‍ද කාර්‍මාරපුත්‍ර ඇසී ය. ඉක්බිති චුන්‍ද කාර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් චුන්‍දකාර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කුසල් දහම් දැක් වූ සේක, එය මොනොවට ගැන්වූ සේක, එහි උත්සාහවත් කළ සේක, එහි තුටුපහටු කළ සේක.
3. එ කල්හි චුන්‍දකාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කුසල් දහම් දක්වන ලද්දේ, මොනොවට ගන්වන ලද්දේ, උත්සාහවත් කරන ලද්දේ, තුටුපහටු කරන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා හා සෙට මාගේ බත ඉවසන සේක් වා”යි කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක. ඉක්බිති චුන්‍ද කාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, පැදකුණු කොට, නික්මැ ගියේ ය.
4. ඉක්බිත්තෙන් චුන්‍දකාර්‍මාරපුත්‍ර තෙම එ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය ද බොහෝ සූකරමාර්‍දව ද පිළියෙල කරවා “වහන්ස, කාලය පැමිණියේ ය. බත පිළියෙල කොට නිමියේ යැ”යි කල් දන්වා යැවී ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන, බික්සඟන හා චුන්‍දකාර්‍මාර පුත්‍රයාගේ ගෙය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ ම භාග්‍යවතුන් වහන්සේ චුන්‍ද කාර්‍මාරපුත්‍රයා බණවා, “චුන්‍දයෙනි, යම් සූකරමාර්‍දවයෙක් තොප විසින් පිළියෙල කරන ලද ද, එයින් මා වළඳවව. යම් අන් ඛාද්‍ය භොජ්‍යයෙක් පිළියෙල කරන ලද ද එයින් බික්සඟන වළඳවව”යි වදාළ සේක.