7. 8.
කච්චාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහකසයින් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට තබා කමටහන් අරමුණට යොමු කොට මොනොවට එළැඹැවූ කායගතස්මෘතියෙන් වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ එසේ නොදුරෙහි පලක් බැඳ ... හුන් මහකසයින් තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යමකුට හැම විට ම කායගතාසතිය එළඹ සිටිනී වේ ද, ‘අතීත කර්‍මක්ලේශ මා හට නො වී නම්, වර්‍තමාන අත්බව මාහට නො වන්නේ ය. වර්‍තමාන කර්‍මක්ලේශ නොවී නම් අනාගතයෙහි මාහට අත්බවෙක් නො වන්නේ යයි දන්නේ ද, එහි පිළිවෙළින් උදයව්‍යයඥානාදීන් විදර්‍ශනා විහරණ ඇති හේ සුදුසු කල්හි ම තෘෂ්ණාව තරණය කරන්නේ ය.”
7. 9.
උදපාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරි සරන සේක්, මල්ලයන්ගේ ථූන නම් වූ බමුණුගමට බැස වදාළ සේක. ‘සැහැපුත් වූ සැහැකුලයෙන් පැවිදි වූ මහණ ගොයුම්හු වනාහි මහත් භික්‍ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරිසරනුවෝ ථූන ගමට පැමිණියහ’යි ථුන ගම් වැසි බමුණු ගැහැවියෝ ඇසූහ. ඔහු ඒ මුඬු මහණහු පැන් නො බොත්ව’යි තණකොළින් ද පිදුරෙන් ද ළිඳ මුවවිට දක්වා ම පිරැවූහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් වැ එක්තරා රුක්මුලක් කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ ම භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, තෙල ළිඳෙන් මට පැන් ගෙනෙව’යි වදාළ සේක. එසේ වදාළ කල්හි, ආනන්‍ද තෙරණුවෝ ‘වහන්ස, ‘ඒ මුඬු මහණහු පැන් නො බොත් ව’යි කියා ථූන ගම් වැසි බමුණු ගැහැවියන් විසින් ඒ ළිඳ තණකොළිනුත් පිදුරෙනුත් මුවවිට තෙක් ම දැන් පුරවන ලදැ’ යි සැළ කළහ. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, … වදාළ සේක. දෙවැනි වර ද අනඳ තෙරණුවෝ … ‘පැන් නොබොත් ව’යි තණකොළිනුත් … පුරවන ලදැ’යි සැළ කළහ. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ ‘අනඳයෙනි, තෙල ළිඳෙන් මට පැන් ගෙනෙව’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පාත්‍රය ගෙන ඒ ළිඳ කරා එළැඹියහ.
3. එ කල්හි ඒ ළිඳ අනඳ තෙරුන් එළඹෙන විටැ ඒ සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැර කොට මුවවිට දක්වා ම පිරිසිදු නොකැලඹුණු වෙසෙසින් පෑදුණු දියෙන් පිරුණේ පිටතට දිය නික්මවන්නක්හු මෙන් සිටියේ ය. එකල්හි අනඳ තෙරණුවන්හට ‘පින්වත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති නියාව මහත් අනුභාව ඇති නියාව ආශ්චර්‍ය්‍ය ය. අද්භූත ය! මේ ළිඳ මා එළැඹෙන කල්හි සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැරැ කොට පියා පිරිසිදු නොකැලඹුණු වෙසෙසින් පහන් වූ දියෙන් මුවවිට දක්වා, පිරුණේ පිටතට දිය නික්මවමින් මෙන් සිටියේ යැ’යි මෙ සිත විය. මෙසේ සිතා පාත්‍රයෙන් පැන් ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ ‘වහන්ස, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය ය. අද්භූත ය. මේ ළිඳ මා එළැඹෙන කල්හි සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැරැ කොට පියා පිරිසිදු නොකැලැඹුණු වෙසෙසින් පහන් වූ දියෙන් මුවවිට දක්වා පිරුණේ පිටතට දිය නික්මවමින් මෙන් සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක්වා, සුගතයන් වහන්සේ පැන් වළඳන සේක්වා’යි කීහ.
4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“හැම කල්හි (හැමතැන ම) දිය ඇත් නම්, ඒ ළිඳෙන් කවර ප්‍රයෝජන ද? තෘෂ්ණා පිපාසාවගේ මුල සිඳ සිටි මා වැන්නෙක් කවරැ හෙයින් දිය සොයා ඇවිදුනේ ද? නො ඇවිදුනේ ම ය.”