7. 6.
තණ්හාක්ඛය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (හෙවත් රහත්පල සමවත) නුවණින් බලමින් හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (හෙවත් රහත්පල සමවත) නුවණින් බලමින් හුන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා, එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යමකුහට අත්බවට මුල් වූ අවිද්‍යාවත් එයට පිහිටීමට හේතු වූ (ආස්‍රව නීවරණ අයෝනිසෝමනස්කාර සංඛ්‍යාත) භූමියත් නැද්ද, මානාතිමානාදි ප්‍රභේද ඇති කෙලෙස් ලතාවත් මදප්‍රමාද මායා ආදි කොළත් නැද්ද, එසේ වූ ඒ බන්‍ධනයෙන් මිදුණු ධීරයාට කවරෙක් නින්‍දා කරන්නට සුදුසු ද? දෙවියෝ ද ඔහු පසසති. බඹහු විසිනුත් හේ පුදනු ලද්දේ වේ.”
7. 7.
පපඤ්චඛය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රපඤ්චයන් සහගිය සංඥාවන්ගේ කොටස්වල ප්‍රහාණය නුවණින් සලකමින් වැඩහුන් සේක් වෙති.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ප්‍රපඤ්චසංඥාවන්ගේ කොටස්වලැ ප්‍රහාණය දැන (සලකා) එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යමකුහට ප්‍රපඤ්චයෝත් ඔවුන් විසින් කරන ලද සසර සිටීමත් නැද්ද, සන්‍දාන සංඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටිහුත් නැද්ද, යමෙක් පළිඝ සංඛ්‍යාත අවිද්‍යාවත් ඉක්මැවී ද, සිවු ඉරියව්වෙන් කල් යවන, තෘෂ්ණාරහිත වූ ඒ මුනිහට දෙවියන් සහිත ලොව ද අවඥා නො කෙරේ.”
7. 8.
කච්චාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහකසයින් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට තබා කමටහන් අරමුණට යොමු කොට මොනොවට එළැඹැවූ කායගතස්මෘතියෙන් වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ එසේ නොදුරෙහි පලක් බැඳ ... හුන් මහකසයින් තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යමකුට හැම විට ම කායගතාසතිය එළඹ සිටිනී වේ ද, ‘අතීත කර්‍මක්ලේශ මා හට නො වී නම්, වර්‍තමාන අත්බව මාහට නො වන්නේ ය. වර්‍තමාන කර්‍මක්ලේශ නොවී නම් අනාගතයෙහි මාහට අත්බවෙක් නො වන්නේ යයි දන්නේ ද, එහි පිළිවෙළින් උදයව්‍යයඥානාදීන් විදර්‍ශනා විහරණ ඇති හේ සුදුසු කල්හි ම තෘෂ්ණාව තරණය කරන්නේ ය.”