5. 9.
සද්ධායමාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ මහත් භික්ෂුසමූහයක් හා කොසොල් රටැ සැරි සරන සේක. එ සමයෙහි වනාහි බොහෝ (බමුණු) තරුණයෝ මෙරමාට හෙලා තළා බස් දොඩන්නාහු භාග්යවතුන් වහන්සේට නොදුරු තැන්හි ඉක්මැ යෙත්. භාග්යවතුන් වහන්සේ එසේ අනුනට හෙලා තළා බස් දොඩමින් යන ඒ බමුණු තරුණයන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:
“මුළා සිහි ඇති, පණ්ඩිතප්රතිරූපක වූ, මුඛාරූඪ වූවක් ම කියන සුලු, යම් පමණට මුව ඇරීම කැමැති ද, එ පමණ ම කියන්නා වූ, මුළාසිහි ඇති බව් ආදි යමෙකින් මෙහෙයන ලද්දාහු ‘අපි මෙසේ නො සුදුසු බසක් ම කියමු’යි නො දනිත්.”
5. 10.
පන්ථක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි චුල්ලපන්ථක තෙරණුවෝ පලක් බැඳ, කය ඍජු කොට පිහිටුවා, සිහිය අරමුණට යොමු කොට එළවා, භාග්යවතුන් වහන්සේට නොදුරෙහි හුන්නාහු වෙත්. භාග්යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිහි අරමුණට යොමු කොට තබා නොදුරෙහි හුන් චුල්ලපන්ථක තෙරුන් දුටු සේක.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන, එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මනාව සිටි කයින්, සමාධිගත වැ සිටි සිතින්, සිටින්නේ හෝ හිඳින්නේ හෝ වැද හෝනේ මේ සිහිය ඉටන (මේ එළැඹ සිටි සිහියෙහි පිහිටා සිටුනා) මහණ තෙමේ (ශමථ විදර්ශනා වශයෙන්) පෙර පසු පවත්නා භාවනා විශේෂය ලබන්නේ ය. පෙර පසු විසින් පැවැති භාවනා මඟින් ලත් විශේෂ ධර්මය (රහත් බව) ලැබ මෘත්යුරාජයාගේ (මරණයාගේ) අදර්ශනයට (මරහුට ගොදුරු නොවන තැනට) යන්නේ ය.”
පස්වන සෝණවර්ගය යි.
එහි උද්දානය:
රාජ, අප්පායුක, කුට්ඨි, කුමාරක, උපෝසථ, සෝණ, රේවත, නන්ද, සද්ධ, පන්ථක යනු මෙහි සූත්රයෝ ය.
ජාත්යන්ධ වර්ගය
6. 1.
ආයුසංඛාරවොස්සජන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විසල්පුරැ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුරැ පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්. අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, හිඳිනා ඇතිරිය ගනුව. දිවාවිහරණය පිණිස චාපාල චෛත්යය වෙත යන්නමු’යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’යි කියා ම අනඳ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී, හිඳිනා ඇතිරිය ගෙන, භාග්යවතුන් වහන්සේ පසුපසින් වැඩියහ. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ චාපාලචෛත්යය කරා එළැඹි සේක. එළැඹ, පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. භාග්යවතුන් වහන්සේ වැඩ හිඳ ම, ‘අනඳයෙනි, විසල්පුරය සිත්කලු ය, උදායන චෛත්යය සිත්කලු ය, ගෞතමක චෛත්යය සිත්කලු ය, සප්තාමු චෛත්යය සිත්කලු ය, බහුපුත්ර චෛත්යය සිත්කලු ය, සාරන්දද චෛත්යය සිත්කලු ය, චාපාලචෛත්යය සිත්කලු ය. ආනන්දය, යම් කිසිවකු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහු නම්, බහුල වශයෙන් කරන ලද්දාහු නම්, යුක්තයානයක් මෙන් කරන ලද්දාහු නම්, පිහිටන තැනක් මෙන් කරන ලද්දාහු නම්, සිද්ධ කරන ලද්දාහු නම්, පුරුදු කරන ලද්දාහු නම්, මොනොවට නිපදවන ලද්දාහු නම්, හෙ තෙම කැමැත්තේ නම්, හෙ තෙම ආයුෂ්කල්පයක් (ඒ කාලයෙහි මිනිසුන්ගේ සම්පූර්ණ ආයුෂප්රමාණ කාලයක්) හෝ එයට වැඩියක් කල් සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඍද්ධිපාදයෝ භාවිතයහ, බහුලීකෘතයහ, යානීකෘතයහ, වාස්තු කෘතයහ, අනුෂ්ඨිතයහ, පරිචිතයහ, සුසමාරබ්ධයහ. අනඳයෙනි, තථාගතයෝ කැමැත්තෝ නම්, ආයුෂ්කල්පයක් හෝ එයට වැඩි කලක් සිටිය හැක්කාහුයැ”යි වදාළ සේක. මෙසේත් භාග්යවතුන් වහන්සේ විසින් දැඩිවූ සංඥා ඉපැදවීම කරනු ලබනු කල්හි, ඖදාරික අවභාසය කරනු ලබන කල්හි, ආනන්ද තෙරණුවෝ එය දැනැ ගන්නට නොහැකි වූහ. මරහු විසින් මඩනාලද සිතැත්තක්හු සේ, වහන්ස, භාග්යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා සඳහා, දෙව් මිනිස්නට යහපත පිණිස, හිත පිණිස, සුව පිණිස කල්පයක් හෝ කල්පයකට වැඩියක් කල් වැඩ සිටින සේක්වා’යි භාග්යවතුන් වහන්සේ නො යැද්දහ.
දෙවෙනි වරද භාග්යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “... සිත්කලු ය ... තථාගතයෝ කැමැත්තාහු නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටිය හැක්කාහ”යි වදාළ සේක. තෙවෙනි වරැ ද භාග්යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “... සිත්කලු ය ... තථාගතයෝ කැමැත්තාහු නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටිය හෙන්නාහ”යි වදාළ සේක. මෙසේත් අනඳ තෙරණුවෝ ... මරහු විසින් මඩනා ලද සිතැත්තක්හු සේ ... නො යැදූහ.
2. ඉක්බිත්තෙන් භාග්යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යම් දිවාවිහරණයකට කලැ යි සිතවු ද එයට යවු’යැ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියාම අනඳ තෙරණුවෝ, භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී, හුනස්නෙන් නැගී සිට භාග්යවතුන් වහන්සේ සකසා වැඳ, පැදැකුණු කොට, නොදුරෙහි එක්තරා රුක්මුලෙක හිඳ ගත්හ.