5. 3.
සුප්පබුද්ධකුට්ඨි සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි රජගහ නුවරෙහි මිනිසුන්ගේ ඉතා දිළිඳු වූ, මිනිසුන් අතරෙහි ඉතා ම දුගී වූ මිනිසුන් අතරෙහි ඉතා ම දීන වූ සුප්‍රබුද්ධ නම් කුෂ්ඨරෝගියෙක් විය.
2. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහ පිරිසක් විසින් පිරිවරන ලදු වැ දහම් දෙසමින් හුන්සේක් වෙති. සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම රැස්ව සිටි ඒ මහජන මුළුව දුරැ දී ම දිටී. දැක ඔහුට “නිසැකයෙන් ම මෙහි කිසි කෑයුතු බිදියැ යුතු දැයෙක් බෙදෙයි. ඒ මහජන මුළුව කරා ගියෙම් නම් මනා මැ නු! මෙහි දී කිසි කෑයුතු බිදියැ යුතු දැයක් ලැබ ගත හැකි වීම් නම් මැනවැ”යි මේ සිත විය.
3. ඉක්බිත්තෙන් සුප්‍රබුද්ධකුෂ්ඨි තෙම ඒ මහජන මුළුව වෙත එළැඹියේ ය. එහි මහපිරිසක් විසින් පිරිවරන ලදු වැ දහම් දෙසමින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටී ය. දැක ඔහුට “මෙහි කිසි කෑයුතු හෝ බිදිය යුතු හෝ දැයෙක් නො බෙදෙයි. මෙ මහණ ගොයුම්හු පිරිසෙහි දම් දෙසති. මමත් දහම් අසම් නම් මැනැවැ”යි මේ සිත විය. මෙ තෙම ‘මමත් බණ අසන්නෙමි’යි එහි ම එක් පසෙක හිඳ ගත්තේ ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එකකුදු නො හැර මුළු පිරිස ම ඔවුන් සිත් සිය සිතින් පිරිසිඳ ‘මෙහි කවරෙක් නම් දහම් දැන ගන්නට (මාර්‍ගඵලාවබෝධයට) භව්‍ය දැ?”යි (උපනිඃශ්‍රය සම්පන්න දැයි) බැලූ සේක.
4. භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි හුන් සුප්‍රබුද්ධ කුෂ්ඨියා දුටු සේක. දැක උන් වහන්සේට ‘මේ තෙමේ ඒකාන්තයෙන් මෙහි ධර්‍මය අවබෝධ කරන්නට තරම් උපනිඃශ්‍රය සම්පත් ඇත්තෙකැ’යි මේ සිත විය. ඉක්බිති සුප්‍රබුද්ධ කුෂ්ඨියා ඇරැබ, දානකථා ද ශීලකථා ද ස්වර්‍ගකථා ද කාමයන්ගේ දෝෂ ද ලාමකබව ද කෙලෙසීම ද නෙක්ඛම්මයෙහි අනුහස් ද පැවැසූ සේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ සුප්‍රබුද්ධ කුෂ්ඨීහු කර්‍මක්‍ෂම සිත් ඇතියහු කෙලෙස් පහ ව මොළොක් සිත් ඇතියහු නීවරණ පහ වූ සිතැත්තහු., (මනා පිළිවෙත්හි) ඔදවැඩි සිතැත්තහු සැදැහැයෙන් පහන් සිතැත්තහු දුටු සේක් ද, ඒ විටැ දුක් යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ගය යැ යන බුදුවරුන්ගේ යම් සාමුතකර්‍ෂකී දේශනාවෙක් වේ නම් එය පැවසූ සේක. පහ වූ කළුබව් ඇති ශුද්ධ වස්ත්‍රය යම්සේ රඳන් පිළිගන්නේ ද, ඒ පරිද්දෙන් ම සුප්‍රබුද්ධ කුෂ්ඨියාහට ඒ ආසනයෙහි ම, ‘යමක් හටගන්නා ස්වභාවය ඇත් නම් ඒ සියල්ල නැසෙන ස්වභාවය ඇත්තේ යැ’යි පහ වූ කෙලෙස් රජස් ඇති, පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස පහළ විය.
5. එ කල්හි සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම දක්නා ලද සිවුසස් දහම් ඇත්තේ නුවණින් පැමිණි සිවුසස් දහම් ඇත්තේ, ප්‍රකට වූ සිවුසස් දහම් ඇත්තේ, නුවණින් බැසගත් සිවුසස් දහම් ඇත්තේ, ඉක්මි සැක ඇත්තේ, පහවූ විමති ඇත්තේ, ශීලාදිගුණයන්හි විශාරද බවට පැමිණියේ, බුද්ධශාසනයෙහි පරප්‍රත්‍යය නැත්තේ, හුනස්නෙන් නැගී සිටැ, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකත්පසෙක හිඳ ගත්තා වූ ම සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය: “වහන්ස, දේශනාව අභිකාන්ත ය. වහන්ස, දේශනාව අභිකාන්ත ය. වහන්ස, යම්සේ මුණින් නමා තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් හෝ විවර කරන්නේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ ද, “ඇස් ඇත්තෝ රූප දකින්නාහ’හි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පවසන ලද්දේ ය. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි, භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු කොට සලකන සේක් වා” යනු යි.
6. එකල්හි සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් දක්වන ලද්දේ, උත්සාහවත් කරන ලද්දේ, සතුටු කරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ වචන පිළිගෙන, සතුටු ව, හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.