5. 1.
රාජ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසේනදී කෝසල රජ මල්ලිකාදේවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියේ වේ. එ කල්හි පසේනදී කෝසල රජ තෙම මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද් දැ?යි”යි ඇසී ය.
“මහරජාණනි, මට තමාට වඩා ප්රිය වූ අන් කිසිවෙක් නැත් ම ය.
මහරජාණනි, මුබට වනාහි තමනට වඩා ප්රිය වූ කිසි අන් කිසිවෙක් ඇත් දැ?යි” මල්ලිකා දේවී ඇසුවා ය.
“මටත් මල්ලිකාවෙනි, තමාට වඩා ප්රිය වූ අන් කිසිවෙක් නැතැ”යි පසේනදී කොසොල් රජ කීය.
2. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජ පහයෙන් බැස, භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙකැ හිඳ ගත. එකත්පසෙක හුන්නාවූ ම පසේනදී කොසොල් රජ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
“වහන්ස, මෙහි මම් මල්ලිකා දේවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියෙම්, මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද්දැ?යි”යි ඇසීමි. එසේ ඇසූ කල්හි මල්ලිකා දේවි මට “මහරජාණනි, මට තමාට වඩා ප්රිය වූ අන් කිසිවෙක් නැත් ම යැ”යි සැළ කළා. “මහරජාණනි, මුබට වනාහි තමනට වඩා ප්රිය වූ කිසි අන් කිසි කෙනෙක් ඇත් දැ?”යි ඔ ද පුළුවුත්. වහන්ස, එසේ පුළුවුත් කල්හි “මල්ලිකාවෙනි, මටත් තමාට වඩා ප්රිය වූ අන් කිසිවෙක් නැතැ’යි මම් කීමි” යනු යි.
3. එ කල්හි භාග්යවතුන් වහන්සේ මේ කාරණය සලකා, ඒ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:
“සියලු දශ දිසාවන් සෙවීම් වශයෙන් සිතින් අනුව ගොස්, තමහට වඩා ප්රියයකු සොයන්නේ කිසි තැනෙකත් නො දක්නේය. මෙසේ ඒ අන් සත්ත්වයනට වෙන වෙන ම තම තමා වඩා ම ප්රිය වේ. එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තේ මෙරමා නො පෙළන්නේ ය.”
5. 2.
අප්පායුක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එකල්හි අනඳ තෙරණුවෝ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටියාහු භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ ඔබ සකසා වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් ම අනඳ තෙරණුවෝ, “වහන්ස, භාග්යවතුන් වහන්සේගේ මෑණියෝ අතිශයයෙන් අල්පායුෂ්ක වූ හු ය” යන්න ආශ්චර්ය්ය යි. වහන්ස, අද්භූතයි! භාග්යවතුන් වහන්සේගේ මෑණියෝ මුබ උපන් සත්දවසෙහි කලුරිය කළහ. තුෂිත දේවනිකායට (උත්පත්ති වශයෙන්) පැමිණියහ”යි භාග්යවතුන් වහන්සේට කීහ. “ආනන්දයෙනි, එය එසේ ය. ආනන්දයෙනි, බෝසත් මවුවරු අල්පායුෂ්ක වෙත්. බෝසතුන් උපන් සත් දවස වූ කල්හි බෝසත් මවුහු කලුරිය කරත්. තුෂිත දේවනිකායට පැමිණෙත්.”
2. එ කල්හි භාග්යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යම් කිසි සත්හු කෙනෙක් පෙරැ වූවාහු ද, මතු ද වෙද් ද, යම් හැම කෙනෙක් මේ කය හැර දෙව්ලොවට යන්නාහු ද, ඒ සියලු පිරිහීම නුවණැත්තේ දැන කෙලෙස් තවන වැර ඇත්තේ බඹසර කරන්නේ ය.”
5. 3.
සුප්පබුද්ධකුට්ඨි සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි රජගහ නුවරෙහි මිනිසුන්ගේ ඉතා දිළිඳු වූ, මිනිසුන් අතරෙහි ඉතා ම දුගී වූ මිනිසුන් අතරෙහි ඉතා ම දීන වූ සුප්රබුද්ධ නම් කුෂ්ඨරෝගියෙක් විය.
2. එ සමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ මහ පිරිසක් විසින් පිරිවරන ලදු වැ දහම් දෙසමින් හුන්සේක් වෙති. සුප්රබුද්ධ කුෂ්ඨි තෙම රැස්ව සිටි ඒ මහජන මුළුව දුරැ දී ම දිටී. දැක ඔහුට “නිසැකයෙන් ම මෙහි කිසි කෑයුතු බිදියැ යුතු දැයෙක් බෙදෙයි. ඒ මහජන මුළුව කරා ගියෙම් නම් මනා මැ නු! මෙහි දී කිසි කෑයුතු බිදියැ යුතු දැයක් ලැබ ගත හැකි වීම් නම් මැනවැ”යි මේ සිත විය.