4. 6.
පිණ්ඩෝල සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ආරණ්යක වූවෝ, පිණ්ඩපාතික වූවෝ, පාංශුකූලික වූවෝ, ත්රෛචීවරික වූවෝ, අල්පේච්ඡ වූවෝ, සන්තුෂ්ට වූවෝ, ප්රවිවික්ත වූවෝ, ගිහියන් හා අසංසෘෂ්ට වූවෝ, සම්පූර්ණ කළ වීර්ය්ය ඇත්තෝ, ධූතවාද වූවෝ, රහත්පලසමවතෙහි යෙදුණෝ භාග්යවතුන් වහන්සේ නොදුරු තන්හි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා වැඩ හුන්නාහු වෙති.
2. භාග්යවතුන් වහන්සේ තමනට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා හුන් ආරණ්යක වූ පිණ්ඩපාතික වූ පාංශුකූලික වූ, ත්රෛචීවරික වූ, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, ප්රවිවික්ත වූ, අසංසෘෂ්ට වූ, සම්පූර්ණ කළ වීර්ය්ය ඇති, ධූතවාද වූ, රහත්පල සමවත්හි යෙදුනු පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් දුටු සේක.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“වචනයෙන් කිසිවකුට උපවාද නො කිරීම ද, කයින් කිසිවකුට පීඩා නො කිරීම ද, ප්රාතිමෝක්ෂයෙහි සංවරය කිරීම ද, බොජුන්හි පමණ දැනීම ද, භාවනාකූල ජනවිවිත්ත සෙනසුන ද, රහත්පලසිත උපදවනු සඳහා ශමථවිදර්ශනා වශයෙන් උත්සාහය ද යන මේ බුදුවරුන්ගේ අවවාදානුශාසන”යි.
4. 7.
ශාරීපුත්ර සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරම්හි වැඩවසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ අල්පේච්ඡ වූවෝ, සන්තුෂ්ට වූවෝ, ප්රවිවික්ත වූවෝ, අසංසෘෂ්ට වූවෝ, ආරබ්ධවීර්ය්ය ඇත්තෝ, රහත්පල සමවතැ යෙදුණෝ භාග්යවතුන් වහන්සේට නොදුරු තන්හි හුන්නාහු වෙති. භාග්යවතුන් වහන්සේ අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ ප්රවිවික්ත වූ අසංසෘෂ්ට වූ ආරබ්ධවීර්ය්ය ඇති රහත්පල සමවත්හි යෙදුණු පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා නොදුරෙහි හුන් සැරියුත් තෙරුන් දුටු සේක් ම ය.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“අධිචිත්තයෙන් යුක්ත, පමා නොවන, මෞනපථයන්හි හික්මෙන, උපශාන්ත වූ, හැම කල්හි සිහි ඇති, අටලෝ දහමින් නොසැලෙන, මුනිහට ශෝකයෝ නො වෙත්.”
4. 8.
සුන්දරී සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර, ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ ලෝවැස්සා විසින් සත්කාර කරන ලද ගරු කරන ලද බුහුමන් කරන ලද පුදන ලද යටත්පැවතුම් දක්වන ලද සේක් වෙති. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සේක් වෙති. අන්තොටු පිරිවැජ්ජෝ වනාහි සත්කාර නොලදුවෝ, ගුරුකාර නො ලදුවෝ, බුහුමන් නොලදුවෝ, පූජා නො ලදුවෝ, යටත්පැවතුම් නො ලදුවෝ වෙති. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලෝ වෙති.
2. ඉක්බිත්තෙන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ භාග්යවතුන් වහන්සේට ද භික්ෂුසඞ්ඝයාට ද ලැබෙන සත්කාර නො ඉවසන්නෝ, සුන්දරී පිරිවැජිය කරා එළැඹුණහ. එළැඹ, “බිහිනිය, නෑයනට වැඩක් කරන්නට හැක්කහු දැ”යි කීහ. “ආර්ය්යයෙනි, කුමක් කෙරෙම් ද? මා විසින් කට නොහැකි කිමෙක් ද? නෑයන්ගේ යහපත පිණිස දිවි පවා මා විසින් පරිත්යක්ත යැ”ඕ කිවු ය.