4. 1.
මේඝිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ චාලිකා නුවරට නොදුරෙහි වූ චාලික පර්වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මේඝිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ උපස්ථායක වෙති. එ කල්හි මේඝිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ මේඝිය තෙරණුවෝ ‘වහන්ස, මම් ජන්තුග්රාමයට පිඬු පිණිස පිවිසෙන්නට කැමැත්තෙමි’යි භාග්යවතුන් වහන්සේට සැළ කළහ. ‘මේඝියෙනි, තෙපි යම් ගමනකට කාලය යැ යි සිතවු නම් එය කරව’යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
2. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙන ජන්තුග්රාමයට පිඬු පිණිස පිවිසියහ. ජන්තුග්රාමයෙහි පිඬු පිණිස හැසිරැ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු කිමිකාලා නදියගේ තීරය කරා එළැඹියහ. එළැඹ කිමිකාලා නදිය තෙරැ ජඞ්ඝාවිහාරය පිණිස සක්මන් කරනුවෝ හැවිදිනුවෝ සිත් පහදවන සිත්කලු අඹවනයක් දුටහ. දැකීමෙන්, “මේ අඹවනය ඒකාන්තයෙන් සිත පහදවන සුලු ය, සිත්කලු ය. මෙය ප්රධන්වීර්ය්ය වඩනු කැමැති කුලපුතක්හට ප්රධන් වඩනු පිණිස සුදුසු ම ය. ඉදින් භාග්යවතුන් වහන්සේ මට අනුදක්නා සේක් නම්, බවුන් වඩනු පිණිස මේ අඹවනයට එන්නෙමි”යි මේ සිත විය.
3. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් මේඝිය තෙරණුවෝ “වහන්ස, මෙහි මම් පෙරවරු යෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන ජන්තුග්රාමයට පිඬු පිණිස පිවිසියෙමි. ජන්තුග්රාමයෙහි පිඬු පිණිස හැසිරැ බතින් පසු පිණ්ඩපාතයෙන් නැවතුණෙම්, කිමිකාලානදිය තෙරට එළැඹියෙමි. එළැඹ, කිමිකාලා නදිය තෙරැ ජඞ්ගාවිහාරයෙහි යෙදී සක්මන් කරනුයෙම්, හැවිදිනුයෙම්, ප්රසාද එළවන, සිත්කලු අඹවනයක් දිටිමි. දැකීමෙන් මට ‘මේ අඹවනය මහණදම් කරනු කැමැති කුලපුතක්හට ප්රධන් වඩනුවට ඒකාන්තයෙන් සුදුසුයැ’යි මේ සිත විය. ඉදින් භාග්යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම්, මම් ප්රධන් වඩනු පිණිස මේ අඹවනයට එන්නෙමි’යි මේ සිත විය. ඉදින් භාග්යවතුන් වහන්සේ අනුදක්නා සේක් නම්, මම් ප්රධන් වඩනු පිණිස මේ අඹවනයට යන්නෙමි”යී කීහ.
4. මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ මේඝිය තෙරුනට, ‘මේඝියයෙනි, මම් හුදෙකලා වෙමි. අන් මහණකු එන තෙක් කුඩා තමක් බලව’යි වදාළ සේක. දෙවෙනි වර ද මේඝිය තෙරණුවෝ කියනුවෝ, ‘වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් මත්තෙහි කටයුතු දැයෙක් නැත. කළ දැයෙහි යලි රැස් කැරුමෙක් නැත. වහන්ස, මට වනාහි මත්තෙහි කටයුතු දෑ ඇත. කළ දැයෙහි යලි රැස් කැරුම් ඇත. ඉදින් භාග්යවතුන් වහන්සේ මට අනුදන්නා සේක් නම්, ඒ අඹවනයට ප්රධන් වඩනු පිණිස යන්නෙම්වා’යි කීහ. දෙවෙනි වර ද භාග්යවතුන් වහන්සේ “මේඝිය තෙරුනට, ‘මේඝියයෙනි, මම් හුදකලා වෙමි. අන් කිසි මහණකු එන තුරු කුඩා තමක් බලව”යි වදාළ සේක. තෙවෙනි වර ද මේඝිය තෙරණුවෝ “වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් මත්තෙහි කටයුතු දැයෙක් නැත. කළ දැයෙක හෝ යලි වැඩීමෙක් නැත. මට වනාහි වහන්ස, මත්තෙහි කටයුතු ඇත. කළ දැයෙහි වැඩුම් ඇත. ඉදින් මට භාග්යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම්, ඒ අඹවනයට ප්රධන් වඩනු පිණිස මම් යන්නෙමි”යි කීහ.
5. “මේඝියයෙනි, මහණදම් කරමි යි කියන තොපට අපි අන් කුමක් කිය හැක්කමො ද? යමකට දැන් තෙපි කල් යැ යි සිතවු නම් එය කිරීම තොප අයත් වැඩෙකැ”යි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ හුනස්සෙන් නැගී සිට භාග්යවතුන් වහන්සේ සකසා වැඳ පැදැකුණු කොට, ඒ අඹවනය කරා එළැඹියහ. එළැඹ ඒ අඹවනයට බැස ගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහාරය පිණිස හිඳගත්හ. ඉක්බිත්තෙන් (මෙසේ) ඒ අඹවෙනෙහි වසන මේඝිය තෙරුනට කාමවිතර්ක ව්යාපාදවිතර්ක විහිංසාවිතර්ක යන තුන් ලාමක අකුශල කල්පනාවෝ බෙහෙවින් පහළ වෙත්. එකල්හි මේඝිය තෙරුනට, “ආශ්චර්ය්යයෙක පින්වත්නි! නොවූවිරියෙක පින්වත්නි! මම් සැදැහැයෙන් ම ගිහිගෙන් නික්ම සසුන් වනිමි. එහෙත් කාමවිතර්ක ව්යාපාදවිතර්ක විහිංසාවිතර්ක යන මේ තුන් ලාමක අකුශල විතර්කවලින් ලැගුණමෝ වම්හ”යි මේ සිත විය.