3. 6.
පිලින්‍දිවච්ඡ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පිලින්‍දිවච්ඡ තෙරණුවෝ (‘එව වසලය, ඉවත යා වසලය’ යන ආදී වශයෙන්) වසල වාදයෙන් මහණුනට කතා කෙරෙති. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූ ම ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ආයුෂ්මත් පිලින්‍දිවච්ඡයෝ භික්‍ෂූන්හට වසලවාදයෙන් කතා කෙරෙති”යි මෙ පවත් සැළ කළහ.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා “මහණ තෝ මෙහි එ. ‘ඇවැත්නි, පිලින්‍දිවච්ඡයනි, ශාස්තෲහු තොප කැඳවති’යි මා වචනයෙන් පිලින්‍දිවච්ඡදයා කැඳව”යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිලින්‍දිවච්ඡ තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ පිලින්‍දිවච්ඡ තෙරුන්ට ‘ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ මුඹ කැඳවති’යි කීහ. ‘එසේ ද ඇවැත්නි?’ යි කියා පිලින්‍දිවච්ඡ තෙරණුවෝ ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳ ගත්හ. එකත්පසෙක හුන්නාවූ ම පිලින්‍දිවච්ඡ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ වච්ඡයෙනි, තොප වසලවාදයෙන් මහණුන් අමතති යනු සැබෑ දැ?” යි අසා වදාළ සේක. ‘එසේ ය වහන්සැ’යි තෙරණුවෝ වදාළහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිලින්‍දිවච්ඡ තෙරුන්ගේ පෙර වුසූ කඳපිළිවෙළ මෙනෙහි කොට, ‘මහණෙනි, තෙපි වච්ඡ මහණනුට උජඣායන (පහත් කොට සිතීම) නො කරව. මහණෙනි, වච්ඡයෝ ද්වේෂ සහගත සිත් ඇති වැ මහණනුට වසලවාදයෙන් කතා නො කරති. වච්ඡ මහණුන්දෑගේ අතීත පන්සියක් ම අත්බව්හු අතරක් නැතිව ම බමුණු කුලයෙහි උපන්නාහ. ඔවුන්ගේ ඒ ‘වසලයා’ යන වචනය බොහෝ කලක් කියා ගෙන එන ලද්දෙකි. එහෙයින් මේ වච්ඡයෝ මහණනුට (‘වසලයා’යි) වසලවාදයෙන් (පෙර පුරුද්ද අනුව) කතා කෙරෙති.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යමක්හු කෙරෙහි මායාවෙක් නො පවත්නේ ද, මානයෙක් නො පවත්නේ ද, යමෙක් පහ වූ ලෝභය ඇත්තේ ද, මමායන රහිත ද, ආශා රහිත ද, මුල් සුන් කළ ක්‍රෝධය ඇත්තේ ද, (කෙලෙස් පිරිනිවනින්) නිවුණු සිතැත්තේ ද, බ්‍රාහ්මණයාත් හේ ම ය, ශ්‍රමණයාත් හේ ම ය, භික්‍ෂූවනුයේත් හේ ම ය.”
3. 7.
කාශ්‍යප සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයේ කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහසුප් තෙරණුවෝ පිප්ඵලීගුහායෙහි වැඩ වෙසෙති. (එසේ වැඩ වසනුවෝ) එක්තරා සමාධියකට සමවැද එක් පලඟින් වැඩහුන්නාහු වෙති.
2. ඉක්බිති මහසුප් තෙරණුවෝ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟී සිටියහ. ඉක්බිති ඒ සමාධියෙන් නැඟී සිටි මහසුප් තෙරුනට ‘මම් රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත වී ය. ඒ සමයෙහි වනාහි පන්සියක් පමණ දේවතාවෝ මහසුප් තෙරුනට පිණ්ඩපාතය පිළිලබවනුවට (බොජුන් පිරිනමන්නට) උත්සුක බවට පැමිණියෝ වෙති. එ කල්හි මහසුප් තෙරණුවෝ ඒ පන්සියක් පමණ දේවතාවන් පිළිකෙවු කොට, පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන රජගහපුරයට පිඬු පිණිස පිවිසුණහ.
3. එ සමයෙහි සක්දෙවිඳු මහසුප් තෙරුනට පිඬුපා දෙනු කැමැත්තේ වෙයි. හෙ පෙහෙර වෙසක් මවාගෙන හූ කටියි. අසුර දූ සුජා තොමෝ නඩාව (පිළී වියන සරස් දංඩ) පුරා ලයි.
4.එ කල්හි මහසුප් තෙරණුවෝ රජගහනුවරැ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙනුවෝ වෙස්වළා හුන් සක්දෙවිඳුහුගේ ගෙය කරා එළඹියහ. සක්දෙවිඳු වඩනා මහසුප් තෙරුන් දුර දී ම දිටී. දැක ගෙන් නික්ම පෙර ගමන් කොට අතින් පාත්‍රය ගෙන ගෙට වැද සැළියෙන් බත් ගෙන පාත්‍රය පුරා මහසුප් තෙරුනට දුන. එ පිණ්ඩපාත භෝජනය නොයෙක් සූප ඇත්තේ නොයෙක් ව්‍යාඤ්ජන ඇත්තේ නානාවිධ අග්‍රරස සහිත සූපව්‍යඤ්ජන ඇත්තේ විය.
5. එ කල්හි මහසුප් තෙරුනට ‘යමක්හට මෙ බඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ නම් ඒ මේ සත්ත්‍ව තෙම කවරෙක් නම් වේ දැ”යි මේ සිත විය. ඉක්බිති මහසුප් තෙරුනට ‘මේ වනාහි සක්දෙවිඳු යැ’යි මේ සිත විය. මෙසේ දැන, ‘කෝසිය ය, මෙය තා විසින් කරණ ලද්දෙක. යලිදු මෙ බන්දක් නො කරව’යි වදාළහ.
6. “වහන්ස, අපටත් පිනෙන් වැඩ ඇත. අපටත් පිනෙන් කටයුතු ඇතැ”යි සක්දෙවිඳු කී. ඉක්බිති සක්දෙවිඳු මහසුප් තෙරුන් සකසා වැඳ පැදකුණු කොට අහස් නැඟ අහසෙහි දී, “ආශ්චර්‍ය්‍ය ය! කසුප් තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි! උතුම් දනෙකි! ආශ්චර්‍ය්‍ය ය! කසුප් තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි! උතුම් දනෙකි”යී තෙවරක් උදන් ඇනී ය.
7. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ ඇසුම් ඉම ඉක්මැ අසන්නට ඉවහල් වූ පිරිසිදු දිව කනින් “ආශ්චර්‍ය්‍ය ය! කසුප්තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි. උතුම් දනෙකි”යි අහස් නැඟ උදන් අනන සක්දෙවිඳුගේ වචනය ඇසූහ.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අරුත දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“පිණ්ඩපාතිකාඞ්ගය පුරණ තමා ම පුස්නා අමිෂයෙන් අනුන් නො පුස්නා අටලෝ දහමින් නො සැලෙන උපශාන්ත වූ හැම කල්හි සිහි ඇති මහණහට දෙවියෝ ආදර උපදවත්.”