1. 8.
සඞ්ග්රාමජිත් සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ දැකීම පිණිස සැවැත්නුවරට පැමිණියේ ය. ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්ය්යාව “සඞ්ග්රාමජිත් ආර්ය්යයන් වහන්සේ සැවැත් නුවරට වැඩියෝ ලු”යි ඇසුවා ය. ඕ තොමෝ දරුවා රැගෙන ජේතවනයට ගියා ය.
එසමයෙහි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිර තෙමේ එක්තරා රුකක් මුල දිවාවිහාරයෙහි හුන්නේ වෙයි. එකල්හි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පෙරබිරිය සඞ්ග්රාමජිත් ස්ථවිරයන් වෙත එළැඹියා ය. එළැඹැ ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරුන්හට “ශ්රමණයන් වහන්ස, කුඩා පුතකු ඇතියමු. මා පුස්නේ යැ”යි කීවා ය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය.
දෙවෙනි වරත් ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරුන්ගේ පුරාණ භාර්ය්යාව ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරුන්හට “ශ්රමණයන් වහන්ස, කුඩා පුතකු ඇතියමු. මා පෝෂණය කරන්නැයි”යි කීවා ය. දෙවැනි වරත්, ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරණුවෝ නිශ්ශබ්ද විය. තුන්වැනි වරත් ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිර තෙමේ තුෂ්ණීම්භූත විය.
ඉක්බිති ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්ය්යාව ඒ දරුවා ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන් ඉදිරියෙහි දමා “ශ්රමණයන් වහන්ස, මේ තෙමේ තොපගේ පුත්රයා ය. මොහු පෝෂණය කරන්නැ”යි කියා නික්ම ගියා ය.
2. එකල්හි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් තෙරණුවෝ ඒ දරුවා (දෙස) නො ද බැලූහ. (දරුවා හා) නො ද බුණූහ. එකල්හි ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්ය්යාව නො දුරට ගොස් පෙරළා බලන්නී ඒ දරුවා (දෙස) නො බලන, (දරුවා හා) නො තෙපලන ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන් දුටුවා ය. දැකැ, ඇයට “මේ ශ්රමණ තෙමේ පුත්රයාගෙනුදු ප්රයෝජන නැත්තෙකැ”යි මේ සිත විය. ඕ එතැනින් පෙරළා අවුත් දරුවා රැගෙන ගියා ය. භාග්යවතුන් වහන්සේ පිරිසිදු වූ, මිනිසැස ඉක්මැ සිටියා වූ, දිවැසින් ආයුෂ්මත් සඞ්ග්රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්ය්යාවගේ මෙබඳු වූ ඒ විප්රකාරය දුටු සේක.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
“එන්නියට ද සතුටු නො වෙයි. (බැහැරැ) යන්නිය දැක ද ශෝක නො කරයි. (රාගාදි පඤ්චවිධ) සඞ්ගයෙන් මිදුණු ඒ සඞ්ග්රාමජිත් භික්ෂු ‘බ්රාහ්මණයෙකැ’යි මම් කියමි”
1. 9.
ජටිල සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ගයා පෙදෙසෙහි වූ ගයාශීර්ෂයෙහි වැඩ වසන සේක. එසමයෙහි බොහෝ ජටිලයෝ ශීත වූ හිම ඍතුව පිළිබඳ රාත්රීන්හි (නවන් මැදින් දෙමසැ ) අතරැ හිම වැටෙන අට දවසක් පමණ වූ කාලයෙහි ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි සිතා ගයා තීර්ත්ථයෙහි දියේ ගිලී උඩ ඊම ද කෙරෙති. (නැවත) දියේ ගිලීම ද කෙරෙති. (නැවැතැ නැවැතැ) දියේ ගිලීම හා මතු වීම ද කෙරෙති. දිය වත් කිරීම ද කෙරෙති. ගිනි පිදීම ද කෙරෙති.
භාග්යවතුන් වහන්සේ ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි ශීත වූ හිම ඍතුවෙහි රාත්රීන්හි අතර අට දවසක් පමණ වූ හිම වැටෙන කාලයෙහි ගයාතීර්ත්ථයෙහි දියෙන් නැඟෙන්නාවූ ද දියෙහි ගිලෙන්නාවූ ද නැගීම හා ගිලීම කරන්නාවූ ද දිය වත් කර ගන්නාවූ ද, ගිනි පුදන්නා වූ ද ඒ බොහෝ ජටිලයන් දුටු සේක.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“මෙහි (ගයා තීර්ත්ථයෙහි) බොහෝ දෙනෙක් නාති. (එහෙත්) ජලයෙන් පිරිසුදු වීමෙක් නැත. යමකු කෙරෙහි සත්යයත්, ධර්මයත් ඇත් නම් හෙ තෙමේ පිරිසිදු ය. හෙ තෙමේ බ්රාහ්මණයෙක් වේ”