“එන්නියට ද සතුටු නො වෙයි. (බැහැරැ) යන්නිය දැක ද ශෝක නො කරයි. (රාගාදි පඤ්චවිධ) සඞ්ගයෙන් මිදුණු ඒ සඞ්ග්රාමජිත් භික්ෂු ‘බ්රාහ්මණයෙකැ’යි මම් කියමි”
1. 9.
ජටිල සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ගයා පෙදෙසෙහි වූ ගයාශීර්ෂයෙහි වැඩ වසන සේක. එසමයෙහි බොහෝ ජටිලයෝ ශීත වූ හිම ඍතුව පිළිබඳ රාත්රීන්හි (නවන් මැදින් දෙමසැ ) අතරැ හිම වැටෙන අට දවසක් පමණ වූ කාලයෙහි ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි සිතා ගයා තීර්ත්ථයෙහි දියේ ගිලී උඩ ඊම ද කෙරෙති. (නැවත) දියේ ගිලීම ද කෙරෙති. (නැවැතැ නැවැතැ) දියේ ගිලීම හා මතු වීම ද කෙරෙති. දිය වත් කිරීම ද කෙරෙති. ගිනි පිදීම ද කෙරෙති.
භාග්යවතුන් වහන්සේ ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි ශීත වූ හිම ඍතුවෙහි රාත්රීන්හි අතර අට දවසක් පමණ වූ හිම වැටෙන කාලයෙහි ගයාතීර්ත්ථයෙහි දියෙන් නැඟෙන්නාවූ ද දියෙහි ගිලෙන්නාවූ ද නැගීම හා ගිලීම කරන්නාවූ ද දිය වත් කර ගන්නාවූ ද, ගිනි පුදන්නා වූ ද ඒ බොහෝ ජටිලයන් දුටු සේක.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“මෙහි (ගයා තීර්ත්ථයෙහි) බොහෝ දෙනෙක් නාති. (එහෙත්) ජලයෙන් පිරිසුදු වීමෙක් නැත. යමකු කෙරෙහි සත්යයත්, ධර්මයත් ඇත් නම් හෙ තෙමේ පිරිසිදු ය. හෙ තෙමේ බ්රාහ්මණයෙක් වේ”
1. 10.
බාහිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
එසමයෙහි (දරවැහැරි දරන හෙයින්) දාරුචීරිය නම් වූ බාහිය තෙමේ ජනයා විසින් සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය (යටත් පැවැතුම්) කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය බෙහෙත් පිරිකර ලබන සුලු වූයේ, මුහුදු තෙරැ සුප්පාරක පටුනෙහි වෙසෙයි. එකල්හි රහසිගත වූ, හුදෙකලා වූ, බාහිය දාරුචීරියහට “ලෝකයෙහි රහත් වූ හෝ රහත්මගට පිළිපන් හෝ යම් කිසි කෙනෙක් (වෙත් නම්) මම් ඔවුනතුරෙහි එකෙකිමි”යි මෙසේ චිත්තසංකල්පනාවෙක් පහළ විය.
එකල්හි ඒ දරවැහැරිසිවුරු දරන බාහිය පිරිවැජියාගේ පැරැණි සහලේ නෑ දෙවියෙක් අනුකම්පා කරනුයේ වැඩ කැමැත්තේ දාරුචීවරික පිරිවැජියාගේ චිත්තපරිවිතර්කය සිය සිතින් දැන, දාරුචීරිය පිරිවැජියා වෙත පැමිණියේ ය. පැමිණැ දාරුචීරිය බාහියහට මෙසේ කී ය; “බාහියය, තෝ රහතෙක් නො වෙහි. රහත්මඟට පිළිපන්නෙක් ද නො වෙහි. යම් ප්රතිපත්තියෙකින් තෝ රහත් හෝ වන්නෙහි නම්, රහත්මඟට පිළිපන්නෙක් හෝ වන්නෙහි නම්, ඒ ප්රතිපත්තිය ද තට නැතැ”යි කී ය. “එසේ නම් දෙවියන් සහිත ලෝකයෙහි දැන් කවරෙක් නම් රහත් හෝ රහත්මඟට පැමිණියේ හෝ වේ දැ?”යි හේ ඇසී ය. “බාහියය, උතුරුජනව්යෙහි සැවැත් නම් නුවරෙක් ඇත. එහි අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් වහන්සේ දැන් වසන සේක. බාහියය, ඒ භාග්යවතුන් වහන්සේ රහත් ද (වෙති) රහත්බව පිණිස ධර්මය ද දෙසති”යි කී ය.
ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ දෙවියා විසින් සංවේගයට පමුණුවන ලදු ව එකෙණෙහි ම සුප්පාරක පටුනෙන් පිටත් විය. සියලු තැන්හි එක්රැයක් (පමණක්) විසීමෙන් සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයට එළැඹියේ ය. එසමයෙහි බොහෝ භික්ෂූහු අභ්යවකාශයෙහි සක්මන් කෙරෙති. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ භික්ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඒ භික්ෂූන්හට “ස්වාමීනි, ඒ අර්හත් සම්යක්සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ දැන් කොහි වාසය කරන සේක් ද? අපි ඒ අර්හත් වූ සම්යක්සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ දකිනු කැමැත්තම්හ”යි කී ය. “බාහියය, ඒ භාග්යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුළුගමට පිවිසි සේකැ”යි ඒ භික්ෂූහු කීහ.
2. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ වෙළෙවි ස්වභාව ඇත්තේ ජෙතවනයෙන් නික්මැ සැවැත්නුවර පිවිසැ, සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නාවූ, ප්රසාදාවහ වූ, ප්රසාදාර්හ වූ, සන්හුන් ඉඳුරන් ඇති, සන්හුන් සිත් ඇති, උතුම් වු (ඉන්ද්රිය) දමනයට හා (ඉන්ද්රිය) ශමථයට පැමිණැ සිටි, (කයින්) දැමුණු (වචනයෙන්) රැකුණු (සිතින්) සංවර වූ ඉන්ද්රියයන් ඇති, (ඡන්දාදියෙන් අගතියට නොයන හෙයින්) නාග (ශ්රේෂ්ඨ) වූ භාග්යවතුන් වහන්සේ දිටී ය. දැකැ භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්යවතුන් වහන්සේගේ දෙපාමුල හිසින් වැටී භාග්යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ධර්මයක් මට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවත්නේ ද, ඒ ධර්මය භාග්යවතුන් වහන්සේ මට දෙසත්වා. සුගතයන් වහන්සේ ධර්මය දෙසත්වා”යි කී ය.