1. 10.
බාහිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
එසමයෙහි (දරවැහැරි දරන හෙයින්) දාරුචීරිය නම් වූ බාහිය තෙමේ ජනයා විසින් සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය (යටත් පැවැතුම්) කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්රත්යය බෙහෙත් පිරිකර ලබන සුලු වූයේ, මුහුදු තෙරැ සුප්පාරක පටුනෙහි වෙසෙයි. එකල්හි රහසිගත වූ, හුදෙකලා වූ, බාහිය දාරුචීරියහට “ලෝකයෙහි රහත් වූ හෝ රහත්මගට පිළිපන් හෝ යම් කිසි කෙනෙක් (වෙත් නම්) මම් ඔවුනතුරෙහි එකෙකිමි”යි මෙසේ චිත්තසංකල්පනාවෙක් පහළ විය.
එකල්හි ඒ දරවැහැරිසිවුරු දරන බාහිය පිරිවැජියාගේ පැරැණි සහලේ නෑ දෙවියෙක් අනුකම්පා කරනුයේ වැඩ කැමැත්තේ දාරුචීවරික පිරිවැජියාගේ චිත්තපරිවිතර්කය සිය සිතින් දැන, දාරුචීරිය පිරිවැජියා වෙත පැමිණියේ ය. පැමිණැ දාරුචීරිය බාහියහට මෙසේ කී ය; “බාහියය, තෝ රහතෙක් නො වෙහි. රහත්මඟට පිළිපන්නෙක් ද නො වෙහි. යම් ප්රතිපත්තියෙකින් තෝ රහත් හෝ වන්නෙහි නම්, රහත්මඟට පිළිපන්නෙක් හෝ වන්නෙහි නම්, ඒ ප්රතිපත්තිය ද තට නැතැ”යි කී ය. “එසේ නම් දෙවියන් සහිත ලෝකයෙහි දැන් කවරෙක් නම් රහත් හෝ රහත්මඟට පැමිණියේ හෝ වේ දැ?”යි හේ ඇසී ය. “බාහියය, උතුරුජනව්යෙහි සැවැත් නම් නුවරෙක් ඇත. එහි අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්යවතුන් වහන්සේ දැන් වසන සේක. බාහියය, ඒ භාග්යවතුන් වහන්සේ රහත් ද (වෙති) රහත්බව පිණිස ධර්මය ද දෙසති”යි කී ය.
ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ දෙවියා විසින් සංවේගයට පමුණුවන ලදු ව එකෙණෙහි ම සුප්පාරක පටුනෙන් පිටත් විය. සියලු තැන්හි එක්රැයක් (පමණක්) විසීමෙන් සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයට එළැඹියේ ය. එසමයෙහි බොහෝ භික්ෂූහු අභ්යවකාශයෙහි සක්මන් කෙරෙති. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ භික්ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඒ භික්ෂූන්හට “ස්වාමීනි, ඒ අර්හත් සම්යක්සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ දැන් කොහි වාසය කරන සේක් ද? අපි ඒ අර්හත් වූ සම්යක්සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ දකිනු කැමැත්තම්හ”යි කී ය. “බාහියය, ඒ භාග්යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුළුගමට පිවිසි සේකැ”යි ඒ භික්ෂූහු කීහ.
2. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ වෙළෙවි ස්වභාව ඇත්තේ ජෙතවනයෙන් නික්මැ සැවැත්නුවර පිවිසැ, සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නාවූ, ප්රසාදාවහ වූ, ප්රසාදාර්හ වූ, සන්හුන් ඉඳුරන් ඇති, සන්හුන් සිත් ඇති, උතුම් වු (ඉන්ද්රිය) දමනයට හා (ඉන්ද්රිය) ශමථයට පැමිණැ සිටි, (කයින්) දැමුණු (වචනයෙන්) රැකුණු (සිතින්) සංවර වූ ඉන්ද්රියයන් ඇති, (ඡන්දාදියෙන් අගතියට නොයන හෙයින්) නාග (ශ්රේෂ්ඨ) වූ භාග්යවතුන් වහන්සේ දිටී ය. දැකැ භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්යවතුන් වහන්සේගේ දෙපාමුල හිසින් වැටී භාග්යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ධර්මයක් මට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවත්නේ ද, ඒ ධර්මය භාග්යවතුන් වහන්සේ මට දෙසත්වා. සුගතයන් වහන්සේ ධර්මය දෙසත්වා”යි කී ය.
මෙසේ කල්හි භාග්යවතුන් වහන්සේ බාහිය දාරුචීරියහට “පිඬු පිණිස ඇතුළු ගමට පිවිසියම්හ. එහෙයින් දැන් (බණ කීමට) නො කල්යැ”යි වදාළ සේක.
දෙවෙනි වරටත් දාරුචීරිය බාහිය තෙමේ භාග්යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේගේ ජීවිතයට අන්තරායකර ධර්මයන්ගේ හෝ මගේ ජීවිතයට අන්තරායකර ධර්මයන්ගේ ඇති බව හෝ නැති බව දැනගත නො හැකි ය. (එහෙයින්) වහන්ස, යම් ධර්මයෙක් මට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස, සුව පිණිස (පවත්නේ නම්) ඒ ධර්මය භාග්යවතුන් වහන්සේ මට දෙසත්වා. සුගතයන් වහන්සේ ඒ ධර්මය දෙසත්වා යැ”යි කී ය.
දෙවෙනි වරත් භාග්යවතුන් වහන්සේ දාරුචීරිය බාහියහට “ඇතුළු ගමට පිඬු පිණිස පිවිසියම්හ. බාහියය. දැන් (බණ කීමට) නො කල්යැ”යි වදාළ සේක.
තුන්වැනි වරත් දාරුචීරිය බාහිය තෙමේ භාග්යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේගේ ජීවිතයට අන්තරායකර ධර්මයන්ගේ හෝ මගේ ජීවිතයට අන්තරායකර ධර්මයන්ගේ හෝ (ඇති නැති බව) දැනැගත නො හැකි ය. (එහෙයින්) වහන්ස, යම් ධර්මයෙක් මට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස, සුව පිණිස (පවත්නේ නම්) ඒ ධර්මය භාග්යවතුන් වහන්සේ මට දෙසත්වා, සුගතයන් වහන්සේ ඒ ධර්මය දෙසත්වා”යි කී ය.
එවිට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ: ‘එසේ නම් බාහියය, මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු ය: දක්නා ලද්දෙහි (රූපයෙහි) දක්නා ලද පමණක් වන්නේ ය. අසන ලද්දෙහි (ශබ්දයෙහි) අසන ලද්ද පමණක් වන්නේ ය. දන්නා ලද්දෙහි (=ගන්ධ රස පොට්ඨබ්බයන්හි) දන්නා ලද්ද පමණක් වන්නේ ය. සිතන ලද්දෙහි සිතන ලද්ද පමණක් වන්නේ ය. බාහිය, මෙසේ තොප විසින් හික්මිය යුතුය.
“බාහියය, යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් තොපට දක්නා ලද්දෙහි දක්නා ලද පමණක් වන්නේ ද, අසන ලද්දෙහි අසන ලද්ද පමණක් වන්නේ ද, දන්නා ලද්දෙහි දන්නා ලද්ද පමණක් වන්නේ ද, විශේෂයෙන් දන්නා ලද්දෙහි විශේෂයෙන් දන්නා ලද්ද පමණක් වන්නේ ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් තෝ ඒ (රූපාදිය) හා නො බැඳුණු තැනැත්තෙක් (වන්නෙහි ය). බාහියය, යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් තෝ ඒ (රූපායතනාදිය) හා නොබැඳුණු තැනැත්තෙක් වන්නෙහි ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් තෝ එහි නො බැඳුණු තැනැත්තෙක් (වන්නෙහි) ය. යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් බාහිය ය, තෝ එහි (=රූපායතනාදියෙහි) නො බැඳුණු තැනැත්තෙක් වන්නෙහි ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් බාහියය, තෝ මෙලොව ද නො උපදින්නෙහි, පරලොව ද නො (උපදින්නෙහි), දෙ ලොවෙහි ම ද නො (උපදින්නෙහි) දුක පිළිබඳ කෙළවර මෙය ම වන්නේ ය”යි යනු යි.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේගේ මේ සංක්ෂිප්ත ධර්මදේශනාවෙන් එකෙණෙහි ම දාරුචීරිය බාහියයාගේ සිත උපාදාන රහිත වැ ආස්රවයන් කෙරෙන් මිදිණි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ දාරිචීරිය බාහියහට මේ සංක්ෂිප්ත අවවාදයෙන් අවවාද කොට වැඩි සේක.
භාග්යවතුන් වහන්සේ වැඩි නොබෝ වෙලාවෙකින් ළදරු වස්සකු ඇති දෙනක් දාරුචීරිය බාහියයා බිමැ හෙළා ජීවිතයෙන් තොර කළා ය.