9. නවකනිපාතය
9. 1.
204. දරුව වඩ්ඪය, සත්ත්‍වලෝකයෙහි හා සංස්කාර ලෝකයෙහි ද ක්ලේශතෘෂ්ණායෙක් තට කිසි කලෙක නහමක් වේවා, පුනපුනා ජාති ආදි දුකට නහමක් හිමි වේවා.
205. වඩ්ඪය, තෘෂ්ණා රහිත වූ ප්‍රහීණ වූ විචිකිත්සා ඇති ක්ලේශාභාවයෙන් සිහිල් වූ ඉන්ද්රියදමනයට පැමිණි ක්ෂීණාස්රව වූ මුනීහු සුවසේ වෙසෙත්.
206. වඩ්ඪය, තෝ ඒ ක්ෂීණාස්රව ඍෂීන් විසින් පිළිපදනා ලද ශමථ විදර්ශනා මාර්ගය ඥාන දර්ශනයාගේ අධිගමය පිණිස සියලු වෘත්තදුඃඛය කෙළවර කරනු පිණිස වඩව.
207. මෑණියෙනි, තෙපි විශාරද ව මෙන් තෙල ඔවා මට කියන්නහු යැ, මාගේ මෑණියෙනි, එකත්නෙන් තොපට ගෘහශ්‍රිත ප්‍රේම මාත්‍ර වනථයෙකුදු නැතැ’යි හගිමි.
208. වඩ්ඪය, හීන උත්කෘෂ්ට මධ්‍යම වූ යම් කිසි සංස්කෘත ධර්ම කෙනෙක් ඇද්ද ඔවුනතුරෙහි අණු වූ ද අණුමාත්‍ර වූ ද වනථයෙක් මට නැත.
209. අප්‍රමාද වැ ධ්‍යාන කරන මට හැම ආස්‍රවයෝ ක්ෂය වූහ, මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ, බුදුන්ගේ අනුසසුන් කරන ලදි.
210. මාගේ මව අනුකම්පා ඇතියක සෙයින් (‘මා සු තෙ වඩ්ඪ ලෝකම්හි’ ආදී) පරමාර්‍ත්‍ථ සංහිත වූ මහත් වූ අවවාද පතොදයක් පැවැත් වූ යැ.
211. මම ඒ මවගේ අනුශාසනා වචන අසා යෝගක්ෂේම සඞ්ඛ්‍යාත නිවනට පැමිණෙනු පිණිස ධර්මසංවේගයට පැමිණියෙමි.
212. ඒ මම දවරැය නො මැලි වැ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් නිවනට මෙහෙයූ සිත් ඇතියෙම් මව විසින් චෝදනා කරන ලද්දෙම් අනුත්තර ශාන්ති සඞ්ඛ්‍යාත නිවන පසක් කෙළෙමි.
මෙසෙයින් වඩ්ඪමාතා මෙහෙණ ගාථා කියූ.
වඩ්ඪ මාතා ථේරීගාථා යි.
නවකනිපාතය නිමි
11. ඒකාදශනිපාතය
11. 1.
213. ශාස්තෲන් වහන්සේ විසින් සත්ත්වලෝකය උදෙසා කල්‍යාණමිත්‍ර භාවය පසස්නා ලදි. කල්‍යාණමිත්‍රයන් සෙවුනා (පළමු) මූඪ වූයේ පවා (පසු වැ) පණ්ඩිත වන්නේ යැ.
214. (බුද්ධාදි) සත්පුරුෂයෝ භජන කළ යුත්තාහ. එසේ භජන කරනුවන් ගේ ප්‍රඥා වැඩෙයි. සත්පුරුෂයන් භජනය කරන්නේ හැම (ජාත්‍යාදි) දුකින් මිදෙන්නේ යැ.
215. (සත්පුරුෂයන්) සෙවුනේ, දුඃඛයත් දැනගන්නේ යැ. දුඃඛයාගේ සමුදයත් නිරෝධයත් (නිරෝධොපාය වූ) අෂ්ටාඞ්ගිකමාර්ගයත් (යන) සතර ආර්‍ය්‍යසත්‍යය දැනගන්නේ යැ.
216. පුරුෂදම්‍යසාරථි වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ස්ත්‍රීභාවය දුකැ’යි වදාරන ලද. සපත්නින් ඇති බව ද දුකෙකි. ඇතැම්හු වරක් වැදුවාහු - (විජායන දුක් නො සහමින්)
217. සිය ගෙල ද සිඳුති, සියුමැලියෝ විස කති, කුක්ෂිගතමූඪගර්භ ඇත්තාහු (ගර්භ - ගර්භනී) දෙදෙන මැ මරණාන්තික ව්‍යසනයනට පැමිණෙති.
218. ළං වැ සිට වදන කල් ඇති වැ ගෙට යන මම සිය ගෙට නො පැමිණ මැ මඟ දරුවන් වදා (පිහිට පිණිස ගිය) හිමියා මළහු දුටුමු.
219. දුගී වූ මාගේ පුත්‍රයෝ දෙදෙන කලුරිය කළහ. හිමියා ද මඟ මළේ යැ, එක් මැ දරසෑයෙහි මවු පිය සොහොවුරු දැවෙති, (ඒ ද දුටුමු.)
220. ක්ෂය වැ ගිය කුලගොත් ඇත්තීය, දිළිඳු තැනැත්තිය, තී විසින් අප්‍රමාණ දුක් වළඳනා ලදි. බොහෝ දහස්ගණන් ජාතියෙහි තීගේ කඳුළු ද පැවැතිණ.
221. සොහොන් මැද වුසූමු, යළිදු පුත්‍ර මාංශ කන ලදි, නටකුල ඇති වූමු. සර්වජනයා විසින් ගර්හිත වූමු, මළ හිමියා ඇතියක වූමු, (එතෙකුදු වුව) නිවන් අවබෝධ කළා.
222. මා විසින් අමෘතගාමී වූ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්ගය භාවිත විය. නිවන් පසක් කරනලදි, මෙසේ මම ධර්මමය ආදර්ශය දිටීමු.
223. මම සිඳලූ රාගාදි හුල් ඇති ව බහා තැබූ කෙලෙස් බර ඇති වූමු. (පරිඥාතාදි සොළොස්) කරණී කරන ලදි. මිදුණුසිත් ඇති කිසාගෝතමී මෙහෙණ මෙ කරුණ කිවු යැ.
මෙසෙයින් කිසාගෝතමී මෙහෙණ ගාථා කිවු යැ.
කිසාගෝතමී ථේරීගාථා යි.
ඒකාදශකනිපාතය නිමි.