7. සත්තක නිපාතය.
7. 1.
175. මනුෂ්‍යයෝ මොහොල් ගෙන ධාන්‍ය කොටති. මනුෂ්‍යයෝ අඹුදරුවන් පුස්නාහු ධනය ලබත්.
176. යම් අනුශාසනාවක් කොට පසුව නො තැවේ ද ඒ බුද්ධානුශාසනාවෙහි ව්‍යායාම කරව. වහා දෙපා දොවා එකත්පසෙක හිඳගනුව.
177. සිත එකඟ කොට සුසමාහිත කොට එළවාගෙන සංස්කාරයන් අනාත්ම වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරව, ආත්ම වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා නො කරව.
178. මම ඇයගේ මේ පටාචාරානුශාසනා වචනය අසා දෙපා දෙව එකත්පසෙක හිඳගතුමු.
179. රැය පෙර යමැ පූර්‍වනිවාසය සිහි කළමු. රැය මැදුම් යමැ දිවැස ශුද්ධ කළමු.
180. රැය පැසුළුයමැ මෝහස්කන්‍ධය බිඳ ලූමු. ඉක්බිති ත්‍රිවිද්‍යාප්‍රාප්ත වැ නැඟී සිටියමු. තොපගේ අනුසසුන් කළමු.
181. ත්‍රිදශදෙවියන් සඞ්ග්‍රාමයෙහි ලා දිනූ ශක්‍රයා වට කොට සිටුනාක් සෙයින් පෙරටු කොට ගෙන වාස කරමි. ආස්‍රව රහිත වැ ත්‍රිවිද්‍යාප්‍රාප්ත වැ වාස කරමි.
මෙසෙයින් උත්තරා මෙහෙණ ගාථා කිවු යැ.
උත්තරා ථේරීගාථා යි.
7. 2.
182. කායාදියෙහි සිහි එළවා (ආර්‍ය්‍යමාර්‍ගභාවනායෙන්) භාවිත ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති තෙල මෙහෙණ සර්‍වසංස්කාරයනට උපශම හේතු වූ අත්‍යන්තසුඛ නිර්‍වාණ පදය ප්‍රතිවේධ කළා, (චාලා මෙහෙණ මරුට මෙසේ කිවු යැ)
183. (තෙපි) කවරක්හු උදෙසා මුඬු කළහු, මෙහෙණක සෙයින් දක්නහු. පාෂණ්ඩන් නො රුස්නහු, සම්මූඪ වැ කුමට ඇවිදිනහු ද? (මාරයාගේ බසි.)
184. ශාශ්වතාදි දෘෂ්ටින් ඇසුරු කළ පාෂණ්ඩයෝ මෙසස්නෙන් බැහැර වෙති, ඔහු ධර්‍මය නො දනිති, ඔහු ධර්‍මකෝවිද නො වෙති.
185. ශාක්‍යකුලයෙහි ජාත වූ අප්‍රතිපුද්ගල වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇත, උන් වහන්සේ මට දෘෂ්ටි සමතික්‍රමණොපාය වූ දහමක් දෙසූහ.
186. දුඃඛසත්‍ය යැ දුඃඛසමුදයසත්‍ය යැ දුඃඛනිරෝධසත්‍ය යැ දුක්ඛොපශමය කරා පමුණුවන ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග සත්‍ය යැ යන මේ යැ.
187. මම උන් වහන්සේගේ බස් අසා සස්නෙහි ඇලුම් ඇති වැ වාස කළමු, ත්‍රිවිධ විද්‍යාවෝ ලබන ලදහ. බුදුන්ගේ අනුසසුන් කරන ලදි.
188. හැම තැන්හි තෘෂ්ණා නසන ලදු, මෝහස්කන්‍ධය බිඳිනලදී. පවිටු මාරය මෙසේ දනු, අන්තකය තෝ නටුයෙහි.
මෙසෙයින් චාලා මෙහෙණ ගාථා කිවු යැ.
චාලා ථේරීගාථා යි.
7. 3.
189. ස්මෘතිමත් වූ ප්‍රඥාචක්‍ෂුසින් චක්‍ෂුර්මත් වූ වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති තෙල මෙහෙණ බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් සෙවුනා ලද ශාන්තපද සඞ්ඛ්‍යාත නිවන ප්‍රතිවේධ කළා, (උපචාලා මෙහෙණ මෙසේ උදන් ඇනූ.)
190. යම්හෙයකින් ජාතිය නො රුස්නහු නම්, එයට කරුණු කිම. උපන්නේ රූපාදි කාමයන් වළඳ කෙරේ. කාමරති වළඳව. පසු වැ නො තැවෙනු වව. (මාරයා කී.)
191. උපන්නාහට මරණ වෙයි. (උපන් හෙයින්) අත්පා සිඳුම් වෙයි. ජීවිතහානි මුෂ්ටිප්‍රහාරාදි වධ පරික්ලේශ හා (කාරාගෘහවාසාදි) බන්‍ධ පරික්ලේශ වෙයි, මෙසෙයින් උපන්නේ දුකට පැමිණෙයි.
192. ශාක්‍යකුලයෙහි උපන් අපරාජිත වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇත. උන් වහන්සේ මට ජාති සමතික්‍රමණොපාය වූ දහමක් දෙසූසේක.
193. දුඃඛසත්‍ය යැ දුඃඛසමුදයසත්‍ය යැ දුඃඛනිරෝධසත්‍ය යැ දුඃඛොපශමය කරා පමුණුවන ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගසත්‍ය යි.
194. මම උන් වහන්සේගේ වචන අසා සස්නෙහි ඇලුම් ඇති වැ වාස කළමු. (මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරන ලදි.
195. හැම තන්හි නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණා නසන ලදු. මෝහස්කන්‍ධය පළන ලද්දේ යැ. පවිටු මාරය මෙසේ දනුව. අන්තකය තෝ නටුයෙහි.
මෙසෙයින් උපචාලා මෙහෙණ ගාථා කිවු යැ.
උපචාලා ථේරීගාථා යි.
සත්තකනිපාතය නිමි.