6. 7.
163. ගුත්තාවෙනි, ප්රිය වූ පුතු ද වස්තුව ද හැරපියා යම් ක්ලේශපරිනිර්වාණ ස්කන්ධ පරිනිර්වාණයක් සඳහා බ්රම්සරවස් කැමතිවන ලද ද එය මැ පුනපුනා වඩව, චිත්තවශයට නහමක් යා.
164. චිත්තයා විසින් නුළු කරනලද අවිද්වත් සත්ත්වයෝ මාරයාගේ විෂයෙහි ඇලුණාහු නොයෙක් ජාතිසංසාරයෙහි දිවෙති.
165. කාමච්ඡන්දය ව්යාපාදය සත්කායදෘෂ්ටිය ශීලව්රතපරාමර්ශය පස්වැනි විචිකිත්සා යි.
166. කාමධාතුවට පමුණුවන්නට නිසි තෙල සංයෝජනයන් අනගැමි මඟින් හැරපියා මෙහෙණ නැවත මේ භවයට නො ඒ.
167. රූපාරූපරාග ද මානය ද අවිද්යා ද ඖද්ධත්යය ද හැර පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයනුදු සිඳ දුක් කෙළවර කරව.
168. ජාතිසංසාරය ක්ෂය කොට පුනර්භවය පිරිසිඳ ගෙන ඉහාත්මයෙහි ම නිස්තෘෂ්ණ වැ උපශාන්ත වැ ඉරියව් පවත්ව.
මෙසෙයින් ගුත්තා මෙහෙණ ගාථා කිවු යැ.
ගුත්තා ථේරීගාථා යි.
6. 8.
169. චිත්තයෙහි අවශවර්තී වැ චිත්තශාන්තිය නො ලදින් සතර පස් වරක් විහාරයෙන් නික්ම ගියමු.
170-171. ඛේමා මෙහෙණ කරා එළඹ මම සකසා පරිපෘච්ඡා කළමු. මට නිර්වාණප්රාප්තිය සඳහා ධාතු ආයතනයෝ යැ චතුරාර්ය්ය සත්යයෝ යැ ශ්රද්ධාදි ඉන්ද්රියයෝ යැ ශ්රද්ධාදි බලයෝ යැ බෝධ්යඞ්ග හා අෂ්ටාඞ්ගිකමාර්ග යැ යන දහම් දෙසූ.
172. මම ඇයගේ බස් අසා අනුසසුන් කරමින් රැය පළමු යමැ පූර්වනිවාසානුගත ඥානය සිහි කළමු.
173. රැය මැදුම් යමැ දිවැස් ශුද්ධ කළමු. රැය පැසිම් යමැ මෝහස්කන්ධය බිඳ ලූමු.
174. එකලැ ප්රීතිසුඛයෙන් නාම කය ස්පර්ශ කොට ගෙන වාස කළමු. සත්වන දින මෝහස්කන්ධය බිඳපියා පාදප්රසාරණ ද කළමු.
මෙසෙයින් විජයා මෙහෙණ ගාථා කිවු යැ.
විජයා ථේරීගාථා යි.
ඡක්කනිපාතය නිමි.
7. සත්තක නිපාතය.
7. 1.
175. මනුෂ්යයෝ මොහොල් ගෙන ධාන්ය කොටති. මනුෂ්යයෝ අඹුදරුවන් පුස්නාහු ධනය ලබත්.
176. යම් අනුශාසනාවක් කොට පසුව නො තැවේ ද ඒ බුද්ධානුශාසනාවෙහි ව්යායාම කරව. වහා දෙපා දොවා එකත්පසෙක හිඳගනුව.
177. සිත එකඟ කොට සුසමාහිත කොට එළවාගෙන සංස්කාරයන් අනාත්ම වශයෙන් ප්රත්යවේක්ෂා කරව, ආත්ම වශයෙන් ප්රත්යවේක්ෂා නො කරව.
178. මම ඇයගේ මේ පටාචාරානුශාසනා වචනය අසා දෙපා දෙව එකත්පසෙක හිඳගතුමු.
179. රැය පෙර යමැ පූර්වනිවාසය සිහි කළමු. රැය මැදුම් යමැ දිවැස ශුද්ධ කළමු.
180. රැය පැසුළුයමැ මෝහස්කන්ධය බිඳ ලූමු. ඉක්බිති ත්රිවිද්යාප්රාප්ත වැ නැඟී සිටියමු. තොපගේ අනුසසුන් කළමු.
181. ත්රිදශදෙවියන් සඞ්ග්රාමයෙහි ලා දිනූ ශක්රයා වට කොට සිටුනාක් සෙයින් පෙරටු කොට ගෙන වාස කරමි. ආස්රව රහිත වැ ත්රිවිද්යාප්රාප්ත වැ වාස කරමි.
මෙසෙයින් උත්තරා මෙහෙණ ගාථා කිවු යැ.
උත්තරා ථේරීගාථා යි.
7. 2.
182. කායාදියෙහි සිහි එළවා (ආර්ය්යමාර්ගභාවනායෙන්) භාවිත ශ්රද්ධාදි ඉඳුරන් ඇති තෙල මෙහෙණ සර්වසංස්කාරයනට උපශම හේතු වූ අත්යන්තසුඛ නිර්වාණ පදය ප්රතිවේධ කළා, (චාලා මෙහෙණ මරුට මෙසේ කිවු යැ)
183. (තෙපි) කවරක්හු උදෙසා මුඬු කළහු, මෙහෙණක සෙයින් දක්නහු. පාෂණ්ඩන් නො රුස්නහු, සම්මූඪ වැ කුමට ඇවිදිනහු ද? (මාරයාගේ බසි.)
184. ශාශ්වතාදි දෘෂ්ටින් ඇසුරු කළ පාෂණ්ඩයෝ මෙසස්නෙන් බැහැර වෙති, ඔහු ධර්මය නො දනිති, ඔහු ධර්මකෝවිද නො වෙති.
185. ශාක්යකුලයෙහි ජාත වූ අප්රතිපුද්ගල වූ සම්යක් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇත, උන් වහන්සේ මට දෘෂ්ටි සමතික්රමණොපාය වූ දහමක් දෙසූහ.