2. 8.
33. මෑණියෙනි, පාදතලයෙන් උඩ කේශමස්තකයෙන් යට මේ අපවිත්ර වූ කුණුගඳ හමන කය නුවණින් ප්රත්යවේක්ෂා කරව.
34. මෙසේ (පුතණුවන් අභය තෙරණුවන්ගේ ඔවා පරිදි, අනිත්යානුදර්ශනාදි විසින්) වාස කරන මා විසින් හැම රාගය (රහත් මඟින්) නසන ලද. හැම ක්ලේශපරිදාහ සිඳුනා ලද, (එහෙයින් මැ) සිසිල් වූමු. (සඋපාදිසේසනිබ්බාන ධාතුයෙන්) නිවියා වෙමි.
මෙසෙයින් අභයමාතා මෙහෙණ ගාථා කිවු යැ.
අභයමාතා ථේරීගාථා යි.
2. 9.
35. අභයාවෙනි, යම් කයෙක පුහුදුන්හු ලැගුණාහු වෙත් ද ඒ කය බිඳෙන සුලු යැ, (එකරුණ) මැනැවින් දන්නා සිහිනුවණ ඇති මම් මේ කය නිරපේක්ෂක වැ හැරපියමි.
36. (ජාති ජරාදි) බොහෝ වූ දුඃඛධර්මයෙන් පහස්නාලද (එයින් මැ) අප්රමාදයෙහි ඇලුණු මා විසින් තෘෂ්ණාක්ෂය සඞ්ඛ්යාත නිවන ලබන ලද. බුදුරදුන්ගේ අනුසසුන් කරනලද.
මෙසෙයින් අභයා මෙහෙණ ගාථා කිවු යැ.
අභයා ථේරීගාථා යි.
2. 10.
37. යම් දවසෙක පටන් මම් (විරියසමතා නැතියෙන්) සිත්හි වශී වැ නො පවත්මින් (එහෙයින් මැ) චිත්තශාන්තිය (ආර්ය්යමාර්ගසමාධිය) නො ලැබ රැය සතර පස් වරක් වෙහෙරින් නික්ම ගියමු ද,
38. ඒ මා විසින් අට වැනි රාත්රියෙහි තෘෂ්ණාව නසන ලදු. බොහෝ වූ දුඃඛ ධර්මයෙන් පහස්නා ලද. (එහෙයින් මැ) අප්රමාදයෙහි ඇලුණු මා විසින් නිවන් ලබනලද. බුදුරදුන්ගේ අනුශාසනා කරන ලදි.
මෙසෙයින් සාමා මෙහෙණ ගාථා කිවු යැ.
සාමා ථේරීගාථා යි.
දුකනිපාතය නිමි.
3. තිකනිපාතය
3. 1.
39. පැවිදි වූ තැන් පටන් කොට මට පස්විසිවසක් ගෙවී ගියේ යැ. (මේ දෑතුර) කිසි කලෙක ලද චිත්තෝපශමයක් නො දනිමි.
40. භාවනා චිත්තයෙහි වශවර්තිභාවයක් නැති මම චිත්තශාන්තියක් නො ලැබ එයින් ජිනශාසනය සිහි කොට සංවේගයට පැමිණියමු.
41. (ජාතිජරාදි) බොහෝ දුඃඛධර්මයන් විසින් පහරන ලද අප්රමාදයෙහි ඇලුණු මට තෘෂ්ණාක්ෂය ලැබිණ, මවිසින් බුදුධශාසනය කරන ලද. තෘෂ්ණා වියළුණු තැන් පටන් කොට අද මට සත්වන දින වෙයි.
මෙසෙයින් සාමා මෙහෙණ ගාථා කිවු යැ.
සාමා ථේරීගාථා යි.
3. 2.
42. චිත්ත භාවනායෙහි වශවර්තී භාවයක් නැති මම චිත්ත ශාන්තිය නො ලදින් සතර පස් වරක් විහාරයෙන් බැස ගියෙමු.
43. මා විසින් ශ්රාද්ධෙය වූ (ඇදහියයුතු වූ) යම් මෙහෙණක් වූ ද මම ඒ මෙහෙණ කරා එළැඹියා වෙමි. ඒ මෙහෙණ ස්කන්ධ ධාතු ආයතන නිඃශ්රිත වූ දහමක් දෙසූ.
44. යම් පරිදි ඒ මෙහෙණ මට අනුශාසනා කළා ද ඇගේ ධර්මානු ශාසනය අසා සුඛසමර්පිත වැ සත් දිනක් එක් පලගෙහි හිණිමි. මෝහස්කන්ධය පළාපියා අටවන දින පා දිගු කළමු.
මෙසෙයින් උත්තමා මෙහෙණ ගාථා කිවු යැ.
උත්තමා ථේරීගාථා යි.
3. 3.
45. නිර්වාණප්රාප්තියට මාර්ග වූ යම් සප්තබෝධ්යඞ්ග කෙනෙක් ඇද්ද ඒ හැම මා විසින් බුදුරදුන් දෙසන ලද පරිදි භාවිතයහ.
46. ශූන්යතසමාපත්තිය ද අනිමිත්තසමාපත්තිය ද කැමති සේ ලබන, බුදුරදුන්ගේ ඖරස දුහිතෘ වූ මම් හැම කල්හි නිවන්හි ඇලුණුමු.
47. දිව්යමය වූත් මනුෂ්යමය වූත් යම් වස්තු කාම කෙනෙක් ඇද්ද ඒ හැම කාමයෝ මා විසින් සමුච්ඡේද විසින් සිඳුනා ලදහ. ජාති සංසාරය ක්ෂය කරන ලද, මින් මතු පුනර්භවයෙක් නැති.
මෙසෙයින් අන්ය උත්තමා නම් මෙහෙණක් ගාථා කිවු යැ.
උත්තමා ථේරීගාථා යි.