2. 2.
21. නිර්වාණාවබෝධයට මාර්ග වූ යම් සප්තබෝධ්යඞ්ග කෙනෙක් ඇද්ද යම් පරිදි බුදුන් විසින් දෙසන ලද්දාහු ද ඒ හැම බෝධ්යඞ්ගයෝ මා විසින් භාවිතයහ.
22. යම් හෙයෙකින් මා විසින් ඒ ධර්මකාය සඞ්ඛ්යාත භාග්යවතුන් වහන්සේ (ආර්ය්යධර්මදර්ශනයෙන්) දක්නා ලද්දාහු ද එහෙයින් මේ අන්තිම ශරීරය වෙයි. ජාතිසංසාරය ක්ෂය වී දැන් පුනර්භවයෙක් නැති.
මෙසෙයින් ජෙන්තා මෙහෙණ ගාථා කිවු යැ.
ජෙන්තා ථේරීගාථා යි.
2. 3.
23. සුමුත්තිකාවෙනි, සුමුත්තිකාවෙනි, මොහොලින් මොනොවට මිදුණමු. මාගේ සැමියා නිර්ලජ්ජයෙක. (හේ මට නො රිසි වෙයි) (දිවි තකා කැරෙන) ඡත්රය ද නො රිසි වෙයි. මාගේ බත් පිසන සැළිය දියබරණ ගඳ හමයි. (මෙ හැමයෙන් මොනවට මිදුණමු)
24. මම් රාගය ද ද්වේෂය ද ‘චිච්චිටි චිච්චිටි’ යන අනුකරණයෙන් නසාලමි. මම වෘක්ෂමූලයට එළඹ ‘අහෝසුඛං’ යි සුඛවශයෙන් ධ්යාන කරමි.
මෙසෙයින් සුමඞ්ගලමාතා මෙහෙණ ගාථා කිවු යැ.
සුමඞ්ගල මාතා ථේරීගාථා යි.
2. 4.
25. කසීරට උපදනා සුංවත් යම් පමණ වේ ද මට එපමණ සුංවත් වී. නියම්ගම් වැසි ජනයා ඒ අගය කොට ගෙන එයින් අඩෙකින් මා අගය කොට තැබී.
26. ඉක්බිති මම රූපයෙහි කලකිරුණුමි. කලකිරුණු මම විරාගයට පැමිණියමු: වැළි පුනපුනා ජාති සංසාරයට නො දුවමි. මා විසින් ත්රිවිද්යාවෝ පසක් කරන ලදහු. බුදුන්ගේ අනුසසුන් කරන ලද.
මෙසෙයින් අඩ්ඪකාසී මෙහෙණ ගාථා කිවු යැ.
අඩ්ඪකාසී ථේරීගාථා යි.
2. 5.
27. මම (මඳ වූ මස්ලේ ඇති බැවින්) කෘශ ශරීර ඇති වැ ගිලන් වැ දැඩි දුබල වුව ද, (යම් මැ තැනෙක) යමින් සැරයටිය එල්බගෙන යමි. (එබඳු වී නමුදු) ගිජුකුළුපව්වට නැඟී,
28. සඟළ අත්පසැ තබා පාත්රය ද යටිහුරු කොට තබා ශෛලපර්වතයෙහි හිඳ මෝහස්කන්ධය ප්රදාරණ කොට ස්කන්ධසන්තාන සඞ්ඛ්යාත ආත්මය මතු නූපදනා බවට පැමිණවීමෙන් විෂ්කම්භණ කළමු.
මෙසෙයින් චිත්තා මෙහෙණ ගාථා කිවු යැ.
චිත්තා ථේරීගාථා යි.
2. 6.
29. මම් (රොවින් පෙළීමෙන්) උපන් දුක් ඇති වැ එයින් මැ දුබල වැ ඉක්මගිය යොවුන් බව ඇත්තී වෙමි. සැරයටිය එල්බගෙන යමි. එතෙකුදු වුව (ගිජුකුළු පව්වට නැඟී -)
30. සඟළ සිවුර අත්පසැ තබා පාත්රය ද යටිහුරු කොට තබා ශෛලපර්වතයෙහි හුන්මු තදනන්තර වැ (වීර්ය්යසමතායෙහි යොදනලද බැවින්) මාගේ සිත ආස්රවයන් කෙරෙන් මිදිණ. මා විසින් ත්රිවිද්යාවෝ ලබනලදහු. බුදුරදුන්ගේ අනුසසුන් කරන ලද.
මෙසෙයින් මෙත්තිකා මෙහෙණ ගාථා කිවු යැ.
මෙත්තිකා ථේරීගාථා යි.
2. 7.
31. මම් දිව්යකාය ප්රාර්ත්ථනා කරමින් පක්ෂය සම්බන්ධ තුදුස්වක් පසළොස්වක් දිනයෙහි දු ප්රාතිහාර්ය්යපක්ෂ (තෙළෙස්වක, පෑළවිය, සතවක, නවවක දින) යෙහි දු අෂ්ටාඞ්ග සමන්වාගත වූ පෙහෙවස් වූසුමු.
32. මම් අද එක් වේලේ වළඳන බතින් යුතු වැ මුඩු කළ කෙහෙ ඇති වැ සඟළ සිවුරු පෙරෙවි සිරුරු ඇති වැ හෘදයෙහි ක්ලේශදරථ හැරපියා දිව්යනිකාය නො පතමි.
මෙසෙයින් මෙත්තා මෙහෙණ ගාථා කිවු යැ.
මෙත්තා ථේරීගාථා යි.