මහා නිපාතය
1.
447. මන්තාවතී නගරයෙහි කොඤ්ච නම් රජුගේ අගමෙහෙසිය කුස උපන් සුමේධා නම් දියැණිකෙනෙක් වූ යැ, ඕ ශාස්තෘශාසනකර වූ (ආර්‍ය්‍යයන් විසින්) සසුන්හි පහදවන ලද්දී යැ.
448. සිල්වත් වූ විසිතුරු ධර්මකථා ඇති බහුශ්‍රුත වූ බුදුසසුන්හි හික්මුණු සුමේධා මවුපියන් කරා එළැඹ ‘(ඔබ) දෙදෙන අසත්වා’යි මෙසේ කියා:
449. මම නිවනෙහි ඇලුම් ඇති වෙමි, දෙව්ලොවැ වූ ද භවගතය අශාශ්වත යැ, මානුසික කාම කියනු කිමැ, (ඔහු) තුච්ඡයෝ යැ අල්පාස්වාදයෝ යැ බොහෝ උවදුරු ඇත්තාහ.
450. බාලයෝ යම් කාමයෙක්හි මුසපත් වූවාහු ද ඒ කාමයෝ කටුකයෝ යැ ආශිර්විෂ සදෘශයහ, ඒ බාලයෝ නිරයෙහි පිහිටියාහු බොහෝ කලක් දුඃඛිත වැ (තුමූ මැ) පෙළෙත්.
451. පව්කම් ඇති පාපබුද්ධි ඇති ඔහු හැම කල්හි කයින් වචසින් මනසින් ද අසංවෘත වූවාහු නිරයෙහි ඉපිද ශෝක කෙරෙත්.
452. දුෂ්ප්‍රාඥ වූ (ආත්මහිතයෙහි) චේතනා රහිත වූ ඒ බාලයෝ දුඃඛසමුදයෙහි (-තෘෂ්ණානිමිත්ත) සංසාරයෙහි ඇවුරුණාහු (සිව්සස්දහම්) දෙසන කල්හි අරුත් නො දන්නාහු ආර්‍ය්‍යසත්‍යයන් අවබෝධ නො කෙරෙත්.
453. මෑණියනි, යම් කෙනෙක් භවය පතත් ද දෙවියන් කෙරෙහි උපත රිසියෙන් ද බුද්ධශ්‍රේෂ්ඨයන් විසින් දෙසන ලද සියුසස් නො දන්නා වූ ඔහු මැ ඉතා බොහෝ වෙත්.
454. සියලු භවය අනිත්‍ය කල්හි දෙවියන් කෙරෙහි උපත ද අශාශ්වත යැ, (එසේ කල්හිදු) බාලයෝ පුනපුනා ඉපදීම පිළිබඳ වැ නො ද තැතිගනිත්. (සංවේගයට නො පැමිණෙත්)
455. (නිරය තිරිසන් ප්‍රේත අසුර යන මොහු) සතර විනිපාතයෝ යැ, (දෙව් මිනිස් යන) දෙ ගතීහු ද දුකසේ ලැබෙත්. විනිපාතගතයනට නිරයෙහි පැවිද්ද නො ද ඇති.
456. දසබලයන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිවන්නට තොප දෙ දෙන මට අවසර දුන මැනව, ජාතිමරණයන්ගේ ප්රහාණය පිණිස (අන්කිසයෙකැ) අල්පොත්සුක වැ වෑයම් කරමි.
457. කායකලි වූ අසාර වූ භවය අභිනන්දනා කිරීමෙන් කවර ප්‍රයෝජන ද, භවතෘෂ්ණාවගේ නිරෝධහේතුයෙන් (නිරෝධය පිණිස) පැවිදි වෙමි, මට අවසර දුන මැනවි.
458. (නිරයොත්පත්ති ආදී අටවැදෑරුම්) අක්ෂණය දුරලනලද, බුද්ධොත්පාද සඞ්ඛ්‍යාත නවවැනි ක්ෂණය ලබනලද, සිව්පිරිසිදු සිල් ද සසුන්බඹසර ද යාවජ්ජීවයෙන් නො කෙලෙසමි.
459. සුමේධා මවුපියනට මෙසේ කියා: (ඉදින් පැවිදි නො ලබම් නම්) ගිහි වැසිව අහර නො මැ ගනිමි, මරණවශයට පැමිණියෙම් ම වෙමි’යි.
460. ඇයගේ මව දුක්පත් වැ හඬයි, පියා ද සර්වප්රකාරයෙන් කඳුළු පිරුණු මුහුණු ඇති වැ පහතෙලෙහි බිම වැටී හුන් සුමේධා (ගිහි බවට) රිසි කරවන්නට වෑයම් කරයි:
461. දරුව, නැඟීසිටුව, ශෝක කිරීමෙන් කිම? (තෙපි) වාරණවතියෙහි රජුට දෙනලද්දාව, අණීකදත්ත රජ අභිරූප යැ, තෙපි ඒ රජුට දෙන ලද්දාව.
462. අණීකදත්ත රජුට භාර්‍ය්‍යාව වූ අගමෙහෙසි වෙහි. දරුව, සිල් ද බඹසර ද පැවිද්ද ද දුෂ්කර වේ.
463. (අණීකදත්තගේ) රාජ්‍යයෙහි (තොපගේ) ආඥා වැටෙයි, ධනය ද පතිකුලයෙහි ඉසුරු බව ද භොග සුව (යන සියල්ල) තොප සතු වෙයි, තෙපි තරුණ වුව, කම්සුව වළඳව, දරුව තොපගේ පතිවරය වේවා.
464. ඉක්බිති සුමේධා ඔවුනට කියයි: මෙබඳු සම්පත් නහමක් වේවා, භවය අසාර යැ, මාගේ පැවිද්ද හෝ මරණය හෝ වන්නේ ය, පතිවරය නො ද වන්නේ ය.
465. අපවිත්‍ර වූ විහිදෙන විස්රගන්ධ ඇති (අවීතරාගයනට) බිය එළවන කුණපයක් වූ නිරතුරු වැගිරෙන අසුචියෙන් පිරුණු සම්පිහිවාවක් බඳු මේ කුණුකය කුමක් හෙයින් අභිනිවේශ කෙරෙම් ද, (තෘෂ්ණාදි විසින් ගනිම් ද,)