20. 2.
271. භවතිය, නුඹ ‘සමණා’ (ශ්රමණයහ) යි කියමින් නිදව, ‘සමණා’යි කියමින් පිබිදෙව, (හැම කල) මහණුන් මැ නොහොත් මහණුන්ගේ ගුණ මැ පසසව, (සිතින්) මෙහෙණක් මැ යයි සිතම්.
272. බොහෝ ආහාර පාන ද මහණුනට දෙව, දරුව රෝහිණිය, දැන් තී පුළුවුස්මි, කුමක් හෙයින් නුඹට ශ්රමණයෝ ප්රිය වෙත් ද?
273. (ඔහු තමහට ද පරහට ද වැඩදා) කිසිවක් නො කරනු රිසියහ, කුසීතයෝ යැ, පරා දුන් දැයින් මැ දිවිවටන සුල්ලහ, (එහෙයින් ම බත් වත් ආදිය) පතා සිටුනාහ, මිහිරි දැය මැ රිසියහ, කුමක් හෙයින් නුඹට ශ්රමණයෝ ප්රිය වෙත් ද?
274. පියාණෙනි, බොහෝ කලෙකින් මහණුන්ගේ ගුණ මා පුළුවුස්නහු යැ, තොපට ඒ මහණුන්ගේ ප්රඥාව ශීලය හා වීර්ය්යය පවසමි.
275. (ඔහු වත් පිළිවත් ඈ) මහණකිස කරනු රිසියහ, අනලසයෝ යැ, (නිවන් එළවන) ශ්රේෂ්ඨකර්මය කරනුවහ, එහෙයින් රාගය ද ද්වේෂය ද දුරු කෙරෙති, එකරුණෙන් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
276. අනවද්යකර්ම කරන්නාහු තුන් පව්මුල් දුරු කෙරෙති, රහත්මඟින් ඔවුන්ගේ සියලු පව් ප්රහීණ ය, එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
277. ඔවුන්ගේ කායකර්මය පවිත්ර වෙයි, වාක්කර්මය ද එබඳු ය, ඔවුන්ගේ මනඃකර්මය ද පවිත්ර වෙයි, එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
278. දෙවු සක් හා මුතු මෙන් නිර්මලයහ, ශුද්ධ වූ ආශය ප්රයෝග ඇත්තාහ, ඒකාන්ත ශුක්ල වූ කුශලධර්මයෙන් පරිපූර්ණයහ, එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
279. (ඔහු) බහුශ්රැතයෝ ය, ධර්මධරයහ, ආර්ය්යයෝ ය, දැහැමින් දිවිවටන්නාහ, භාෂිතාර්ත්ථය ද දේශනාධර්මය ද වදාරති, එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
280. (ඔහු) බහුශ්රැතයෝ ය, ධර්මධරයෝ ය, ආර්ය්යයෝ ය, ධර්මජීවීහු ය, එකඟ වූ සිත් ඇතියහ, එළඹසිටි සිහි ඇත්තාහ, එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
281. වෙනෙහි දුර සෙනසුන් කරා යනුවහ, සිහි ඇතියෝ ය, නුවණින් බණනසුල්ලහ, සන්සුන් සිත් ඇතියහ, දුඃඛාන්ත වූ නිවන ප්රතිවේධ කෙරෙති, එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
282. යම් ගමෙකින් නික්ම යෙත් නම් එහි කිසිවක් අපේක්ෂා විසින් නො බලති, නිරපේක්ෂව මැ යෙති, එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
283. ඔහු තමා සතු සම්පත් කොටුයෙහි නො බහා තබති, සැළෙක නො තබති, පැසෙක නො බහති, පරකුලෙහි පිසූ අහර සොයනුවහ, එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
284. ඔහු කහවණු නො ගනිති, රන් රිදී නො ගනිති, එකෙණෙහි උපන් පසයෙන් යැපෙති, එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
285. නන් කුලයෙන් ද නන් දනවුයෙන් ද නික්මැ පැවිදි වූවාහු උනුන් ප්රිය කෙරෙති (මෛත්රී කෙරෙති) එහෙයින් මට ශ්රමණයෝ ප්රිය වෙත්.
286. පින්වත් රෝහිණිය, තෙපි බුදුන් කෙරෙහි ද දහම්හි ද සඟුන් කෙරෙහි ද සැදැහැති ව දැඩි ගෞරව ඇති ව අපට වැඩ පිණිස (මේ) කුලයෙහි උපන්නාව.
287. තෙපි මැ තෙල අනුත්තර වූ පින්කෙත දන්නාව, ඒ ශ්රමණයෝ අපගේ ද දක්ෂිණාව පිළිගනිත් නම්, තෙල මහණුන් කෙරෙහි පිහිටුවනලද අපගේ දානධර්මය විපුලඵල වන්නේ ය.
288. ඉදින් (තෙපි) දුකට බිය වවු නම්, ඉදින් තොපට දුක අප්රිය වී නම්, තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යවු, සිල් සමාදන් වවු, එය තොපට වැඩ පිණිස වන්නේ ය.
289. මම තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යමි, සිල් සමාදන් වෙමි, ඒ මට වැඩ පිණිස වන්නේය.
290. (මම් පෙර බමුණු කුලෙහි උපතින්) බ්රහ්මබන්ධු නම් වීමි, දැන් (බාහිත පාප බැවින්) බ්රාහ්මණ වෙමි, අධිගම කළ ත්රිවිද්යා ඇත්තෙමි සොත්තිය ද වෙමි, මාර්ගඥානවේදයට පැමිණියෙම් ද නහාතක ද වෙමි’යි.
මෙසේ රෝහිණී තෙරැණි ...
රෝහිණී ථේරීගාථා යි.
20. 3.
291. පෙර දඬුගත් අත් ඇති (පිරිවැජියෙක්) විය, හේ දැන් මුව වැද්දෙකි, ආශාව හේතු කොට ගෙන දරුණු වූ (කාමසඞ්ඛ්යාත දෘෂ්ටිසඞ්ඛ්යාත) පඞ්කයෙන් නිර්වාණපාරයට යන්නට නො හැකි විය. (මෙසේ උපක තමා සඳහා කී ය.)
292. (තමා කෙරෙහි) කාමයෙන් මොනොවට ඇලුණකු කොට මා සිතමින් චාපා තොමෝ පුතු නැළවූ, චාපා කෙරෙහි වූ කෙලෙස් බැඳුම් සිඳ නැවත ද මම පැවිදි වන්නෙමි.
293. මහාවීරය, මට නහමක් කිපෙව, මහාමුනිවරය, මට නහමක් කිපෙව, කෝපයෙන් මඩනාලද්දහුට ශුද්ධියක් නැත, තපසෙක් කොයින් වේ ද?
294. ‘නාලා’ ගමිනුදු නික්ම යන්නෙමි, මේ නාලායෙහි කවරෙක් වසන්නේ ද (චාපාවෙනි, තෙපි) දැහැමින් දිවි වටන මහණුන් තමාගේ ස්ත්රීරූපයෙන් බඳිමින් සිටියාව.