16. ෂෝඩශනිපාතය
16. 1.
236. ස්වාමි දරුවන්ගේ දඬුවම් බියෙන් බිය ව, වාග්දණ්ඩභීතියෙන් හා (ස්වකීය) දෝෂභීතියෙන් ද පීඩිතව, (මම්) හැම කල්හි සීතයෙහිදු දිය අළිමි. දියට බටිමි.
237. බමුණාණෙනි, තෙපි කවරක් හට බියපත් වූවහු හැම කල (උදය-සවස) දියට බටහු ද, සැලෙන ගාත්රයෙන් යුතු ව අධික වූ සිහිල් දුක් විඳිහු ද.
238. භවතිය පුණ්ණාවෙනි, කළ පව්කම් වළහන (දියෙහි ගැලීමෙන්) කුසලය රැස්කරන මා දන්නී මැ විචාරව.
239. මහල්ලෙක් වේවයි තරුණයෙක් වේවයි යම් කිසිවෙක් පව්කම් බෙහෙවින් කෙරේ ද හෙතෙමේත් ජලස්නාන හේතුයෙන් පව්කමින් අතිශයින් මිදේ.
240. (කර්මවිපාක) නො දත් තොපට ජලස්නානයෙන් පව් කමින් මිදෙයි’ යන මෙ කරුණ (කර්මවිපාක) නො දත් කවරෙක් පැවැසී ද.
241. හැම මඬු - කැසබුවෝ ද කිඹුල්ලු ද සුංසුමාරයෝ ද අන්ය වූත් යම් ජලචර කෙනෙක් වෙත් නම් ඔහු දු ඒකාන්තයෙන් ස්වර්ගයට යන්නාහ යි සිතම්.
242. එළුවන් මරන්නෝ ද හූරුවැද්දෝ ද කෙවුළෝ ද මුවවැද්දෝ ද සොරු ද වධ්යඝාතකයෝ (අළුගොසුවෝ) ද අන්ය වූත් පව්කම් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔහුදු ජලස්නානයෙන් පව්කමින් මිදෙන්නාහ.
243. ඉදින් මේ (අචිරවතී ආදී) නදීහු තොප විසින් පෙර කළ පව් බැහැර කරන්නාහු නම්, මේ නදීහු (තොප කළ) පින ද බැහැර කරන්නාහු ය, (එකල) තෙපි ඒ පිනෙනුදු බැහැර වූවාහු ය.
244. බමුණාණෙනි, තෙපි යම් පාපයෙකින් බියපත් වූවාහු හැම කලැ උදකාවගාහන කරහු ද, බමුණාණෙනි, ඒ පාපය මැ නහමක් කළ මැනවි. (මෙබඳු) සීතය තොපගේ සිරුරෙහි සිවිය නහමක් පෙළාවා.
245. පින්වතිය, නොමඟට පිළිපන් මා දියෙහි ගැලීමෙන් බැහැර කොට ආර්ය්යමාර්ගයට පැමිණවී. (එහෙයින්) මේ සළුව තුටුපඬුරු කොට තොපට දෙමි.
246. සළුව තොපට මැ වේවා, මම් සළුව නො රිසි වෙමි, ඉදින් තෙපි දුකට බියවවු නම්, ඉදින් තොපට දුක අප්රිය වී නම්-
247. ප්රකටභාවයෙන් නො පිළිසන් ව හෝ නොහොත් රහසි ව පිළිසන් කොට පව්කම් නහමක් කරව. ඉදින් පව්කම් මතු කරන්නෙහි හෝ දැන් කෙරෙහි හෝ නම්-
248. දැනගෙන පලායන්නා වූද තොපට දුකින් මිදීමෙක් නැති. ඉදින් තෙපි දුකට බිය වවු නම් ඉදින් තොපට දුක අප්රිය වී නම්-
249. තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යවු, සිල් සමාදන් වවු, ඒ සරණගමනය හා සීලසමාදානය තොපට වැඩ පිණිස වන්නේ යි.
250. මම් තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යමි, සිල් සමාදන් වෙමි, ඒ මට වැඩ පිණිස වන්නේ ය.
251. මම් පෙර (බමුණු කුලෙහි උපන් පමණින්) බ්රහ්මබන්ධු නම් වීමි, දැන් (බාහිතපාප බැවින්) පරමාර්ත්ථබ්රාහ්මණ වෙමි, අධිගම කළ ත්රිවිද්යා ඇතියෙමි, මාර්ගඥානවේදයෙන් සමන්විතයෙමි, සොත්තිය ද නහාතක ද වෙමි’යි.
මෙසේ පුණ්ණා තෙරණි ...
පුණ්ණා ථේරීගාථා යි.
ෂෝඩශනිපාතය නිමි.