1. 4.
4. තිස්සාවෙනි, (අධිශීලාදි ත්‍රිවිධ) ශික්‍ෂායෙහි හික්මෙව, (මනුෂ්‍යත්‍වය ඉන්‍ද්‍රිය අවිකලත්‍වය, බුද්ධෝත්පාදය, ශ්‍රද්ධා ප්‍රතිලාභය යන) යෝගයෝ - දුර්‍ලභක්‍ෂණයෝ තොප නහමක් ඉක්මයෙත්වා, නොහොත් කාමාදි චතුර්යෝගයෝ තොප නහමක් මඩිත්වා. සියලු මැ කාමාදියොගයන් කෙරෙන් මුක්ත වැ (එහෙයින් මැ) ආස්‍රව රහිත වැ ලොව හැසිරෙව.
මෙසෙයින් තිස්සා මෙහෙණ ගාථාවක් කිවු යැ.
තිස්සා ථේරීගාථා යි.
1. 5.
5. තිස්සාවෙනි, (ශමථවිදර්‍ශනාධර්‍මයන් හා ආර්‍ය්‍යබෝධිපාක්‍ෂිකධර්‍මය යන) ධර්‍මයෙන් යුක්ත වව, (ප්‍රතිරූපදෙශ, අවෛකල්‍යෂඩායතන, බුද්ධොත්පාද, ශ්‍රද්ධාප්‍රතිලාභ සඞ්ඛ්‍යාත) ක්‍ෂණය තොප නහමක් ඉක්මයේවා. යම්හෙයකින් ක්‍ෂණය පැනගියාහු නිරයෙහි ඉපිද සොවිත් ද, එහෙයිනි.
මෙසෙයින් තිස්සා මෙහෙණ ගාථාවක් කිවූ යැ.
තිස්සා ථේරීගාථා යි.
1. 6.
6. ධීරාවෙනි, ක්ලේශනිරෝධය (නිර්‍වාණය) ස්පර්‍ශ කරව. කාමාදි පාපසංඥාවන්ගේ ව්‍යුපශම නිමිත්ත වන යෝගක්ඛේම නම් වූ සුඛාවහ වූ අනුත්තර නිර්‍වාණය ලබාගනුව.
මෙසෙයින් ධීරා මෙහෙණ ගාථාවක් කිවූ යැ.
ධීරා ථේරීගාථා යි.
1. 7.
7. වීරා මෙහෙණියෙනි, (වීර්‍ය්‍යප්‍රධාන හෙයින්) වීරධර්‍ම වූ ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයෙන් වැඩූ ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති වැ සේනා සහිත වූ ක්ලේශ මාරයා දිනා අන්තිමදේහය ධරව.
මෙසෙයින් වීරා මෙහෙණ ගාථාවක් කිවු යැ.
විරා ථේරීගාථා යි.
1. 8.
8. මිත්තාවෙනි, සැදැහැයෙන් පැවිදි වැ කලණ මිතුරන් කෙරෙහි ඇලුම් ඇති වව. අර්‍හත්ත්‍ව නිර්‍වාණ සඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයාගේ අධිගමය පිණිස ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයන් වඩව.
මෙසෙයින් මිත්තා මෙහෙණ ගාථාවක් කිවු යැ.
මිත්තා ථේරීගාථා යි.
1. 9.
9. භද්‍රාවෙනි, සැදැහැයෙන් පැවිදි වැ භද්‍ර වූ ශීලාදි ධර්‍මයෙහි ඇලුම් ඇති වව, චතුර්යෝගයෙන් ක්‍ෂේම වූ නිවනට පැමිණෙනු පිණිස (සප්තත්‍රිංශද්බෝධිපාක්‍ෂික) ධර්‍මයන් වඩව.
මෙසෙයින් භද්‍රා මෙහෙණ ගාථාවක් කිවු යැ.
භද්‍රා ථේරීගාථා යි.
1. 10.
10. උපසමාවෙනි, ක්ලේශමාරයාගේ පැවැත්ම ඇති අත්‍යර්‍ත්‍ථයෙන් දුස්තර වූ සංසාරෝඝය (ආර්‍ය්‍යමාර්‍ග නෞකායෙන්) තරණය කර, සේනා සහිත කෙලෙස් මරහු දිනා (එහෙයින් මැ) අන්තිම ශරීරය ධරව.
මෙසෙයින් උපසමා මෙහෙණ ගාථාවක් කිවු යි.
උපසමා ථේරීගාථා යි.
1. 11.
11. මොනොවට මිදුණෙම් වෙමි. වෙනෙනුදු මොහොලිනුදු කුදු සැමියා කෙරෙනුදු යන තුන් කුදුයෙන් මිදීමෙන් මෙසේ මොනොවට මිදුණෙම් වෙමි. ජාතිමරණයෙනුදු මිදුණෙම් වෙමි. භවනෙත්ති නම් වූ තෘෂ්ණාව නසන ලදු යැ, එහෙයිනි.
මෙසේ මුත්තා නම් මෙහෙණ ගාථාවක් කිවු යැ.
මුත්තා ථේරීගාථා යි.
1. 12.
12. (අග්‍ර ඵලය පිණිස) උපන් ඡන්‍දය ඇත්තී මහණුවම්හි අවසානය (නිවන) පතන්නී (යට තුන්මග) සිතින් (නිවන) ස්පර්ශී කළා වෙයි. කාමයෙහි පිළිබැඳි සිත් නැත්තී ‘උද්ධංසොතා’යයි කියනු ලැබේ.
මෙසේ ධම්මදින්නා මෙහෙණ ගාථාවක් කිවු යැ.
ධම්මදින්නා ථේරීගාථා යි.
1. 13.
13. යම් අනුශාසනයක් කිරීමෙන් නො තැවේ ද බුදුරදුන්ගේ ඒ අනුසසුන් කරව, වහා පා දෙවැ එකත්පසෙක හිඳුව.
මෙසේ විශාඛා මෙහෙණ ගාථාවක් කිවු යැ.
විසාඛා ථේරීගාථා යි.