86. මේ නිර්වාණගාමී මාර්ගය යම්සේ වේ ද එබඳු මාර්ගයෙක් මෙයින් බැහැර වෙන් වෙන් රහත් බැව් කියන සුල්ලන් (නානාතීර්ත්ථකයන්) ට නැතැ යි භාග්යවත් ශාස්තෲන් වහන්සේ තමන් වහන්සේ අත්ලෙහි තුබූවක් සෙයින් දක්වමින් භික්ෂුසඞ්ඝයාට අනුශාසනා කරන සේකැ යි.
මෙසේ ... නාගිත ස්ථවිරයන් වහන්සේ ...
නාගිත ස්ථවිරගාථා යි.
1. 9. 7.
87. පඤ්චස්කන්ධයෝ තත්වූ පරිද්දෙන් දක්නාලදහ, සියලු භවයෝ (මාර්ගඥානයෙන්) පළනලදහ, ජාති සඞ්ඛ්යාත සංසාරය වෙසෙසින් ක්ෂය කරනලද යැ, දැන් පුනර්භවයෙක් නැතැ යි.
මෙසේ ... පවිට්ඨ ස්ථවිරයන් වහන්සේ ...
පවිට්ඨ ස්ථවිරගාථා යි.
1. 9. 8.
88. මහවතුරෙහි ඉල්පීයනුවකු සෙයින් තමා සසර නැමැති දියපහරින් නිවන් නමැති ගොඩබිමැ නඟාසිටුවන්නට ඒකාන්තයෙන් පොහොසත් වීමි. (කුමක් හෙයින යත්) මම සියුසස් පිළිවිදැ දනිම් ද (එහෙයිනි) යි.
මෙසේ ... අජ්ජුන ස්ථවිරයන් වහන්සේ ...
අජ්ජුන ස්ථවිරගාථා යි.
1. 9. 9.
89. පඞ්ක (මඩ) පලිප (මහමඩ) සඞ්ඛ්යාත කාමරාගඡන්දරාගයෝ තරණය කරනලදහ, පාතාල සඞ්ඛ්යාත මිථ්යාදෘෂ්ටීහු දුරු කරන ලදහ, (කාමාදි) ඕඝයෙන් ද (අභිධ්යාදි) කායග්රන්ථයෙන් ද මිදුණෙම් වෙමි, සියලු මානයෝ මුලුසුන් කරනලදහ යි.
මෙසේ ... දේවසභ ස්ථවිරයන් වහන්සේ ...
දේවසභ ස්ථවිරගාථා යි.
1. 9. 10.
90. (මා විසින්) පඤ්චස්කන්ධයෝ පිරිසිඳැ දන්නාලද්දාහු මුල්සුන් වැ සිටිති, ජාති සඞ්ඛ්යාත සංසාරය වෙසෙසින් ක්ෂය කරනලද, දැන් පුනර්භවයෙක් නැතැ යි.
මෙසේ ... සාමිදත්ත ස්ථවිරයන් වහන්සේ ...
සාමිදත්ත ස්ථවිරගාථා යි.
නවම වර්ගය යි.
උද්දානය:
සමිතිගුත්ත ස්ථවිර යැ, කස්සප ස්ථවිර යැ, සීහ ස්ථවිර යැ, නීත ස්ථවිර යැ, සුනාග ස්ථවිර යැ, නාගිත ස්ථවිර ය, පවිට්ඨ ස්ථවිර යැ, අජ්ජුන ස්ථවිර යැ, දේවසභ ස්ථවිර යැ, මහබලැති සාමිදත්තස්ථවිර යැ යි නව වැනි වර්ගයෙහි තෙරවරු දස දෙනෙකි.