723. ඉතා පවිටුගති ඇති දන් නො දෙනසුලු වූ රේවතිය, යම් තැනක දුගතියට ගිය නිරිසත්හු දුකින් යුක්ත වූවාහු තතනත් ද, නො වැසූ දොර ඇති ඒ නිරයට තී ගෙන යන්නෙමු.
724. ලේවන් ඇස් ඇති මහත් වූ, යමයාගේ දුත වූ ඒ යකුන් දෙදෙන මෙසේ කියා රේවතිය වෙන වෙන ම අත් අල්ලාගෙන දෙව සමූහයාගේ සමීපයට පැමිණවූහ.
725. හිරුමඬල මෙන් මනහර වූ පැහැ විහිදුවන රන්දැලින් වැසුණු පිරිසිදු සත්රුවනින් විසිතුරු වූ දෙවඟනන්ගෙන් ගැවසීගත් හිරුරැස් මෙන් බබලන මේ විමන කාගේ ද?
726. සඳුන්සුවඳ ගැල්වූ දෙවඟනෝ විමන ඇතුළත හා පිටත හොබවති. ඒ විමන හිරුමඬල මෙන් පැහැපත් ව පෙනේ. ඒ විමන්හි සගපත් කවර දෙවියෙක් දෙව්සැපතින් සතුටු වේ ද?
727. බරණැස නොමසුරු වූ දානපති වූ ප්‍රතිග්‍රාහකයන්ගේ බස් දන්නා වූ නන්‍දිය නම් උපාසකයෙක් විය. දෙවඟනන්ගෙන් ගැවසුණු හිරුරැස් මෙන් බබළන තෙල විමන ඔහුගේ ය.
728. සාර වූ සඳුන් සුවඳින් අලෙව් දුන් දෙවඟන සමූහයා තෙල විමන ඇතුළත හා පිටත හොබවති. ඒ විමන හිරු හා සම පැහැ ඇති ව පෙනේ. ඒ නන්‍දිය සගපත් වැ ඒ විමන්හි දෙව්සැපතින් සතුටු වේ.
729. මම නන්‍දියගේ බිරිඳ වෙමි. සියලු කුලධනයට හිමි ගෘහණියක් වීමි. දැන් මම මහිමියාගේ විමන්හි ඇලෙන්නෙමි. නිරය දක්නට පවා නො පතන්නෙමි.
730. ඉතා පව්‍ ඇති තැනැත්තිය, තෙල නිරය තිට අයත් වෙයි. මිනිස් ලොව දී තී විසින් පින් නො කරන ලද. තදමසුරු; කිපෙනසුලු, පවිටු ගති ඇති තැනැත්තේ දෙව්ලොව උපනුන්ගේ සහබව නො මැ ලබයි.
731. කිමැ අපවිත්‍ර වූ මල ද මුත්‍ර ද පැනෙයි. මෙ දුගඳ කිමැ? තෙල හමන අසුචි ගඳ කිමැ යි.
732. රේවතිය, යම්තැනක තෝ දහස්වසක් පැසෙන්නෙහි නම්, තෙලෙ බඹසියයක් පමණ ගැඹුරු වූ ඒ සංසවක නම් නිරය යි.
733. කයින් වචනයෙන් මනසින් මා කිනම් පවක් කරන ලද ද? කිනම් පවෙකින් බඹසියයක් පමණ ගැඹුරැති මේ සංසවක නිරය ලැබුණේ ද?
734. තෝ මහණුන් ද බමුණන් ද අන් යදියන් ද මුසාවාදයෙන් රැවටුවහු ය. තී ඒ පව කරන ලද.
735. ඒ පවින් බඹසියයක් ගැඹුරැති සංසව නරකය තිට ලැබුණි. එම්බල රේවතිය, තෝ එහි දහසක් හවුරුදු පැසෙහු ය.
736. යමපල්ලෝ තීගේ අත් ද යළි පා ද සිඳිති. කන් ද යළි නැහැය ද සිඳිත්. යළි දහස් ගණන් කවුඩෝ තී වෙත අවුත් වටකොට ගෙන තීගේ මස් සල්ව සල්වා කති.
737. මා ආපසු (මනුලොවට) ගෙන යන්නහු නම් මැනවි. මම එහි දී බොහෝ පින් කරන්නෙමි. දානයෙන් ද දහම්හි හැසිරීමෙන් ද ශීලයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද (කල් ගෙවමි.) යමක් කොට සුවපත් වෙත් නම් පසුතැවිලි නො වෙත් නම් මම එබඳු පින් කරමි.