6. ෂෂ්ඨ භූමි - සුත්තත්‍ථසමුච්චය
6-1. භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය තුන්පරිද්දෙකින් සංග්‍රහයට යෙයි: ස්කන්‍ධ–ධාතු ආයතනයන්හි යැ.
එහි පඤ්චස්කන්‍ධයෝ නම් : රූපස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධය දක්වා ඇති පස ද රූපායතනයෝ දසයෙකි. : ඇස ද රූපයෝ ද – කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද යන මේ රූපස්කන්‍ධ යි.
එහි සවැදෑරුම් වේදනාකාය වේදනාස්කන්‍ධය යැ : චක්ඛු සම්ඵස්සජ වේදනා යැ – මනෝසම්ඵස්සජවේදනාව දක්වා ඇති මේ සැවැදෑරුම් වේදනා වේදනාස්කන්‍ධ යි.
එහි, සැවැදෑරුම් සංඥාකාය සංඥාස්කන්‍ධ යැ, රූපසංඥාව (ආදිකොට) ධර්‍මසංඥා දක්වා ඇති මේ ෂට්සංඥාකාය සංඥාස්කන්‍ධ යි.
එහි සවැදෑරුම් චෙතනාකාය සංස්කාරස්කන්‍ධ යැ: රූප සඤ්චේතනා (ආදි කොට) ධර්‍මසඤ්චේතනා දක්වා මොහු සදෙන චෙතනාකාය යැ, මේ සංස්කාරස්කන්‍ධ යි.
එහි සවැදෑරුම් විඥානකාය විඥානස්කන්‍ධ යැ, චක්ඛුවිඤ්ඤාණය (ආදි කොට) මනෝ විඤ්ඤාණය දක්වා මොහු සදෙන විඥානකාය යැ. මේ විඥානස්කන්‍ධ යි.
ඒ පඤ්චස්කන්‍ධයන්ගේ, පරිඤ්ඤා කවර යැ: අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යැ යන මොහු යි. මේ ස්කන්‍ධයන්ගේ තෙල අනිත්‍යාදි වශයෙන් දැනීම ‘පරිඤ්ඤා’ නම් වී.
එහි ස්කන්‍ධාර්‍ත්‍ථය කවරෙ යත්: සමූහභාවය ස්කන්‍ධාර්‍ත්‍ථ යැ පුඤ්ජභාවය ස්කන්‍ධාර්‍ත්‍ථ යැ රාශිභාවය ස්කන්‍ධාර්‍ත්‍ථ යැ. ඒ මෙසේ යැ: ද්‍රව්‍යස්කන්‍ධ යැ වනස්කන්‍ධ යැ දාරුස්කන්‍ධ යැ අග්නිස්කන්‍ධය යැ උදකස්කන්‍ධ යැ වායුස්කන්‍ධ යැ යනු මෙනි. මෙසේ ස්කන්‍ධයන්හි සියල්ල සංග්‍රහ වූ ස්කන්‍ධාර්‍ත්‍ථය මෙසේ දතයුතු.
6-2. එහි අටළොස් ධාතු කෙනෙක් වෙති: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු යැ ... මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු යැ යන මොහු අටළොස් ධාතූහු යි. ඔවුන්ගේ අනිත්‍යාදි වශයෙන් දැනීම අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යැ යන මොහු යි. මේ තෙල ධාතූන්ගේ පරිඤ්ඤා නම් වී.
එහි ධාතු අර්‍ත්‍ථය කවරෙ යත්: කියනු ලැබේ. අවයවාර්‍ත්‍ථය ධාතුඅර්‍ත්‍ථ යි. අවයව නම්: චක්‍ෂුහුගේ ප්‍රසාදය වූ චක්‍ෂුර්ධාතු යැ. චක්‍ෂුරාදි පඤ්ඤධාතූන්හි (අවයව) මෙසෙයින් දතයුතු. යළි රාගයාගේ ව්‍යවච්ඡේදාර්‍ත්‍ථය ධාතුඅර්‍ත්‍ථ යි. එසේ මැයැ පිරිසිඳුනා ලද්දී චක්ඛුධාතු යැ, පඤ්චධාතූන්හි මැ එපරිදි වෙයි. යළි ... ප්‍රකෘති අර්‍ත්‍ථයෙන් ධාතු අර්‍ත්‍ථය කියනු ලැබේ. ඒ මෙසේ යැ: පියවින් මේ පුරුෂ පිත ප්‍රකෘති කොට ඇත්තේ යැ. සෙම්හික යැ වාතිය යැ සන්නිපාතික යැ යනු යි. මෙබඳු පියවි ඇතියේ චක්ඛුධාතු යැ. (චක්ඛු–රූපාදි) දසධාතුන්ගේ සියලු ඉන්‍ද්‍රියයන්හි ද ... විසභාගාර්‍ත්‍ථය ධාතු අර්‍ත්‍ථ යි.”
6-3. එහි ද්වාදශ–ආයතනයෝ කවරහ: ආධ්‍යාත්මික ආයතන සයෙක, බාහිරායතන සයෙකි. චක්‍ෂුරායතනය (ආදිකොට) මනායතනය දක්වා ආධ්‍යාත්මික යැ. රූපායතනය (ආදි කොට) ධර්‍මායතනය දක්වා බාහිර යි. තුලුහු ද්වාදශා ආයතනයෝ යි.
මොවුන්ගේ පරිඥා කවර යැ: අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යි. මෝ තුලුන්ගේ පරිඥා යි. තවද ඤාතපරිඤ්ඤා ද පහානපරිඤ්ඤා දැයි පරිඥා ද්විවිධ යැ: එහි ඤාත පරිඤ්ඤා නම් : අනිත්‍ය යැ දුඃඛ යැ සංඥා යැ අනාත්ම යි. මෝ ඥාත පරිඥා යි. පහාන පරිඤ්ඤා වැලිත් ඡන්‍දරාගප්‍රහාණ යැ. මෝ ප්‍රහාණපරිඥා යි.
එහි ආයතනාර්‍ත්‍ථය කවරෙ යත්: කියනු ලැබෙයි. ආකරාර්‍ත්‍ථය (උත්පත්තිස්ථාන භාවය) ආයතනාර්‍ත්‍ථ යැ, සුවර්‍ණාකර රත්නාකර යම්සේ ද එමෙනි” යම්සේ ඒ දෙවැදෑරුම් ආකාරයන්ගෙන් ඒ ඒ වස්තු (?) උපදිත් ද එපරිද්දෙන් මේ ආයතනයන්ගෙන් චිත්ත චේතසික දහම්හු ද කර්‍මක්ලේශයෝ ද දුඃඛධර්‍මයෝ ද උපදිත්.
යළි කියයි, ආයදානාර්‍ත්‍ථය ආයතනාර්‍ත්‍ථ යැ. යම්සේ රජුට අය දීමෙන් (රාජ්‍යයෙහි) අය උපදී ද එපරිද්දෙන් ආයදානාර්‍ත්‍ථය ආයතනාර්‍ත්‍ථ යි.
6-4. ආර්‍ය්‍යසත්‍ය සතරෙකි : දුඃඛ යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ගය දැයි කියා යි. ඒ මෙසේ යැ: සැකෙවින් ස්කන්‍ධශරීරය ද දුඃඛසත්‍ය යැ, සැකෙවින් අවිද්‍යාව ද තෘෂ්ණාව ද සමුදයසත්‍ය යැ, සැකෙවින් විද්‍යා ද විමුක්ති ද නිරෝධසත්‍ය යැ, සැකෙවින් ශමථය ද විදර්‍ශනා ද මාර්‍ගසත්‍යය යි.
6-5. එහි සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍මයෝ කවරහ යත්: සතර සතිපට්ඨාන (ආදි කොට) ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්‍ගය දක්වා ඇති තෙල දහම්හු සත්තිස් බෝපැකිදහම්හු යි. යම් දහම් කෙනෙක් අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ භාග්‍යවත් බුදුවරයන්ගේ ද පසේබුදුවරයන්ගේ ද ශ්‍රාවකයන්ගේ ද නිර්‍වාණය පිණිස පවත්නාහු ද ඔහු යි. ඒ මාර්‍ගය සතර සතිපට්ඨානයෝ යැ, කවර සතරදෙනෙක යත්: “මෙසස්නෙහි මහණ (ආශ්වාසප්‍රශ්වාසාදි) කයෙහි කය අනුව බලමින් වාස කෙරෙයි ... සතර සම්‍යක් ප්‍රධාන යැ, සතර ඍද්ධිපාද යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ” (යනාදිය). එහි ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ කවරෙ යැ: ඉන්‍ද්‍රාර්‍ත්‍ථය ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ යැ, අධිපතිභාවාර්‍ත්‍ථය ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ යැ, ප්‍රසාදාර්‍ත්‍ථය ඉන්‍ද්‍රියාර්‍ත්‍ථ යැ (අසාධාරණං ...) ස්ථාම – ශක්ති අර්‍ත්‍ථය බලාර්‍ත්‍ථ යැ, උපාදායාර්‍ත්‍ථය බලාර්‍ත්‍ථ යැ, උපස්තම්භාර්‍ත්‍ථය බලාර්‍ත්‍ථ යි.
එහි සප්තබෝධ්‍යංගයෝ කවරහ: සති සම්බෝධ්‍යඞ්ගය (පටන්) උපෙක්ඛාසම් බෝධ්‍යඞ්ගය දක්වා ඇත්තාහු යි. එහි අෂ්ටාඞ්ගික මාර්‍ගය කවරෙ යැ: සම්මාදිට්ඨිය, (පටන්) සම්මාසමාධිය දක්වා ඇත්තාහු යි.