6-17. එහි අනිත්‍යසංඥා කවර යත් : “සියලු සංස්කාරයෝ උත්පාදනය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ’යි යම් සංඥාවක් සංජානනාකාරයෙක් නිශ්චය කිරීමෙක් ගැනීමෙක් වේ ද මේ අනිත්‍යසංඥා යි. එහි නිෂ්‍යන්‍ද (ඵලය) කවරැ : අනිත්‍යසංඥාව වැඩූ කල්හි බහුලීකෘත කල්හි අටලෝදහම්හි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ අනිත්‍ය සංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
එහි දුඃඛසංඥා කවර යත් : “සියලු සංස්කාරයෝ දුක් වූහ’යි යම් සංඥාවක් දන්නා අයුරක් නිශ්චය කිරීමෙන් දැඩිව ගැනීමෙක් වේ ද, මේ දුඃඛසංඥා’යි. එහි නිෂ්‍යන්‍ද කවරැ : දුඃඛසංඥාව භාවිත කල්හි බහුලීකෘත කල්හි අලසබැව්හි ප්‍රමාදයෙහි විස්මයෙහි ද සිත නො පිහිටයි, නො සිටී නො පිහිටයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ දුඃඛසංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
එහි අනාත්මසංඥා කවරැ : ‘සියලු ධර්‍මයෝ අනාත්මයෝ යයි යම් සංඥාවක් සඤ්ජනනා කාරයක් නිශ්චය කිරීමෙක් උද්ග්‍රාහකයෙක් වේ ද, මේ අනාත්මසංඥා යැ එහි නිෂ්‍යන්‍ද කවරෙ යැ: අනාත්මසංඥාව භාවිත කල්හි බහුලීකෘත කල්හි අහඞ්කාරය (මම යැ යන දෘෂ්ටිය) සිත අනුසන්‍ධාන නො කෙරෙයි. මාගේ යැ යන තෘෂ්ණාව නො පිහිටයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ පිහිටයි. මේ ඒ අනාත්ම සංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
එහි අශුභසංඥා කවරැ : සත්‍වසංස්කාරයෝ අශුභ වූහයි යම් සංඥාවක් සඤ්ජානනා කාරයක් නිශ්චය කිරීමක් උද්ග්‍රාහයෙක් වේ ද, මේ අශුභසංඥා යැ. එහි නිෂ්‍යන් ද කවරෙ යැ: අශුභසංඥාව භාවිත බහුලීකෘත කල්හි ශුභාලම්බනයෙහි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි, උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ බැසගෙන සිටී. මේ ඒ අශුභසංඥාවගේ නිෂ්‍යන්‍ද යි.
6-18. එහි පඤ්චස්කන්‍ධයන්ගේ (ත්‍රිවිධ පරිඥායෙන්) පරිඥානය භාග්‍යවතුන් විසින් දෙසන ලද්දේ ය. එහි යම් අශුභසංඥාවක් ඇද්ද එය රූපස්කන්‍ධයාගේ පරිඥානය පිණිස යැ, දුඃඛසංඥාව වේදනා ස්කන්‍ධයාගේ පරිඥානය පිණිස යැ, අනාත්මසංඥාව සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ ද පරිඥානය පිණිස යැ, අනිත්‍යසංඥාව විඥාන ස්කන්‍ධයාගේ පරිඥානය පිණිස යි.
එහි ශමථයෙන් තෘෂ්ණාව සමුද්ඝාතනය කෙරෙයි. විදර්‍ශනායෙන් අවිද්‍යාව නසයි. අද්වෙෂයෙන් ද්වේෂය නසයි, අමෝහයෙන් මෝහය නසයි. අනිත්‍යසංඥායෙන් නිත්‍යසංඥාව සමුද්ඝාතනය කෙරෙයි. දුඃඛසංඥායෙන් සුඛසංඥාව නසයි. අනාත්ම සංඥාවෙන් ආත්මසංඥාව නසයි, අශුභසංඥායෙන් ශුභසංඥාව සමුද්ඝාතනය කෙරෙයි.
ශමථය අරමුණෙහි චිත්තයාගේ විසිරීම ප්‍රතිසංස්කරණය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ ශමථයට ධ්‍යානයෝ ආසන්න කාරණ වෙයි. විදර්‍ශනාව ස්කන්‍ධාදි සියලු ධර්‍ම (අනිත්‍යාදි විසින්) යථාභූතව ප්‍රතිවේධ කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ. ඊට සියලු දතයුතු දැය පදට්ඨාන යි. අලෝභය ප්‍රතිසංහරණ ලක්‍ෂණ යැ, ඒ අලෝභයට අදින්නාදානයෙන් විරමණය ආසන්නකාරණ වෙයි. අදෝසය අව්‍යාපාද ලක්‍ෂණ යැ, ඊට ප්‍රාණවධයෙන් වෙන්වීම පදට්ඨාන යි. අමෝහය වස්තු විෂයෙහි නො ගැටීම ලක්‍ෂණ යැ, ඊට සම්‍යක් ප්‍රතිපත්තිය පදට්ඨාන යි. අනිත්‍යසංඥාව සංඛතධර්‍මයන්ගේ විනාශග්‍රහණය ලක්‍ෂණ යැ, ඊට උදයව්‍යය පදට්ඨාන යි. දුඃඛසංඥාව සාස්‍රවස්පර්‍ශය හැඳිනීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඊට වේදනාව පදට්ඨාන යි, අනාත්මසංඥාව සියලු ධර්‍මයන් නො ගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට ධර්‍මසංඥාව පදට්ඨාන යි. අශුභසංඥාව විනීලක විපුබ්බක උද්ධුමාතක අශුභයන් ගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට නිබ්බිදාව පදට්ඨාන යි. දක්වන ලද මේ නව පදයන් කෙරෙහි සියලු කුශලපක්‍ෂය දක්වන ලදුයේ වේ. හෙ ද බහුශ්‍රැතයක්හු විසින් දැනගන්නට හැකි වෙයි, අල්පශ්‍රැතයා විසින් නො දතහැකි වේ. ප්‍රාඥයකු විසින් දත හැකි වෙයි. දුෂ්ප්‍රාඥයා විසින් නො දත හෙයි, යෝගයෙහි යෙදුණක්හු විසින් දතහෙයි. යෝගයුක්ත නොවූවහු විසින් නො දතහැකි වේ.
එහි නිත්‍යසංඥායෙහි අධිමුක්ති ඇති ඔබිනොබ සිත මෙහෙයවන සිහි නො එළවන්නහුට අනිත්‍යසංඥාව නො වටහයි, පස්කම්ගුණයෙහි සුඛාස්වාදයෙහි ඇලුණු පැවැතුම් ඇති (ලෝභාදි) අගතිය නො සිතන්නහුට දුඃඛසංඥා නො වටහයි. ස්කන්‍ධ ධාතු ආයතනයන්හි ආත්ම යයි. අධිමුක්ති ඇති නානාධාතු අනේකධාතුවිනිර්භෝගය නො සිතන්නහුට අනාත්මසංඥාව නො වටහයි. පැහැසටහන්හි ඇලුණහුට ද (කෙලෙස් විසින්) ශුභයෙහි ගිජු වූවහුට ද වෙසෙසින් පිළසන් වූ අශුභසංඥාව නො වටහයි.
6-19. ශ්‍රද්ධාව නො මකුබව ලක්‍ෂණ කොට ඇත්තීය, හැදැහීම වැටහීම කොට ඇත්තී යැ, සතර සෝතාපත්තියඞ්ගයෝ ඒ ශ්‍රද්ධාවට ආසන්නකාරණ යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: “මහණෙනි, සද්ධින්‍ද්‍රිය කොහි දතයුතු යැ: කුශලධර්‍ම වූ සතර සොතපත්තියඞ්ගයන්හි දතයුතු” යැයි.
විරියින්‍ද්‍රිය සූරබව පිළිකෙව් නො කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, වීර්‍ය්‍යයාරම්භය වැටැහීම වෙයි. ඊට අතීත වූ සතර සම්‍යක් ප්‍රධානයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : “මහණෙනි, විරියින්‍ද්‍රිය කොහි දතයුතු යැ: සතර සම්‍යක් ප්‍රධානයන්හි දතයුතු” යි.
සතිය සිහිකිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, මුළා නො වීම වැටැහෙනු වෙයි. ඒ ස්මෘතියට අතීත වූ සතර සතිපට්ඨානයෝ ආසන්නකාරණ වෙයි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: “මහණෙනි සතින්‍ද්‍රිය කොහි දතයුතු යැ: සතර සතිපට්ඨානයන්හි දතයුතු’යි.
සමාධිය සිතෙහි එකඟබව ලක්‍ෂණ කොට ඇත්තේ යැ, අවික්‍ෂේපය වැටැහෙනු වෙයි. ඊට සතර ධ්‍යානයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : ‘මහණෙනි, සමාධීන්‍ද්‍රිය කොහි දතයුතු යැ: සතර ධ්‍යානයන්හි ලා දතයුතු’ යි.
ප්‍රඥාව විශිෂ්ට වූ දැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, භූතාර්‍ත්‍ථසන්තීරණය වැටැහෙනු වෙයි, ඒ ප්‍රඥාවට සතර ආර්‍ය්‍යසත්‍යයෝ පදට්ඨාන යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද : ‘මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කොහි ලා දතයුතු යැ: හතර ආර්‍ය්‍යසත්‍යයන්හි ලා දතයුතු’යි.