මෙසේ ජාති ආදි යම් ධර්මයෙක් එයින් අන්ය වූ ජරා ආදි අන් ධර්මයකට දුක්ඛාදි භාවයෙන් සමානබව ඇද්ද, ඒ ජාත්යාදි ධර්මය ඒ ජරාදි ධර්මයට (දුක්ඛාදි) සමානස්වභාවයෙන් (සමානශබ්දාභිධෙයත්වයෙන්) ඒකත්වය ට පැමිණෙයි. (මේ ඒකත්ව ලක්ෂණ යැ.) යළි යම් යම් ස්වභාවයෙකින් (යම් ධර්මයෙක් යම් ධර්මයකට) විසදෘශ ලක්ෂණ ඇද්ද ඒ ඒ ස්වභාවයෙන් (ඒ ධර්මය ඒ ධර්මයට) වේමත්තතාවට - විසදෘශබවට පැමිණෙයි. (මේ වේමත්තතායෙහි ලක්ෂණ යැ.) මෙසේ සූත්රයෙහි හෝ වෙය්යාකරණයෙහි හෝ ගාථායෙහි හෝ පුළුවුස්නා ලද්දහු විසින් කිම එකත්තතායෙන් විචාරා ද නොහොත් වේමත්තතායෙන් විචාරා දැයි විමසියැ යුතු ය. ඉදින් එකත්තතායෙන් පුළුවුස්නාලද නම් එකත්තතායෙන් විසඳියැ යුතු ය. ඉදින් වේමත්තතායෙන් පුළුවුස්නාලද නම්, වේමත්තතායෙන් විසඳියැ යුතු ය. ඉදින් සත්ත්වප්රඥප්තිමුඛයෙන් පුළුවුස්නා ලද නම්, සත්ත්වප්රඥප්ති වශයෙන් විසඳියැ යුතු ය. ඉදින් ධර්ම වශයෙන් පුළුවුස්නා ලද නම්, ධර්මවශයෙන් විසඳියැ යුතු ය. යළි යම් යම් පරිද්දෙකින් පුළුවුස්නාලද නම් ඒ ඒ පරිදිදෙන් විසඳියැ යුත්තේ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්යායන මහරහතුන් වහන්සේ: “ඒකත්තතාය ධම්මා” යනාදිය.
අධිට්ඨානහාරය යොදන ලද්දේ යි.
3. 1. 15.
පරික්ඛාරහාරවිභඞ්ගය
එහි පරික්ඛාරහාරය කවරෙ යැ: “යෙ ධම්මා යං ධම්මං ජනයන්ති” යනාදි නිද්දේසගාථා යැ. යම් හේතු ප්රත්යය ධර්මයෙක් යම් ඵලධර්මයක්හු උපදවා ද, ඒ ඵල ධර්මයට ඒ හේතුප්රත්යයධර්මය පරිෂ්කාර යි. පරික්ඛාරය කුමක් ලක්ෂණ කොට ඇත්තේ යැ යත්: පරික්ඛාරය ජනක ලක්ෂණ යැ. ධර්මයෝ දෙදෙනෙක් (ඵලය) උපදවති, හේතු ද ප්රත්යය ද යන දෙක යි. ඒ දෙදෙනා අතුරෙහි හේතුව කුමක් ලක්ෂණ කොට ඇත්තේ ද, ප්රත්යය කුමක් ලක්ෂණ කොට ඇත්තේ ද යත්: හේතුව අසාධාරණ ලක්ෂණ යැ, ප්රත්යය සාධාරණ ලක්ෂණ යි . ඒ කුමක් මෙන් වේ ද යත්: ඒ මෙසේ යැ, අඞ්කුරයාගේ නිෂ්පත්තියට (හටගැනීමට) බීජය අසාධාරණ කාරණ යැ,
පඨවිය ද ආපය ද සාධාරණ කාරණ වෙත්. එසේ මැය අඞ්කුරයට පඨවිය ද ආපය ද ප්රත්යය යැ, (සමාන ඵල නිපදවන හෙයින්) සමානභාව වූ බීජය හේතු යි. තව ද යම්සේ කළයෙහි කිරි බහාලන ලදුයේ දිහි වෙයි, දුග්ධ (කිරි)යාගේ ද දධියගේ ද සමකල් ව එක්වීමෙක් නො ද ඇති. (කාලාන්තරයෙහි කිරි දිහිබවට පැමිණෙයි, ප්රත්යයාන්තරසමායෝගය එයිනි.) එපරිදි මැ හේතුහුගේත් ප්රත්යයාගේත් සමකල්ව එක්ව සිටීමෙක් නැති. (හේතු ඵලයන්ගේ මෙන් ද ඒකකාලසමවධානයෙක් හේතු ප්රත්යයන්ගේ ද නැත. ප්රත්යය ඵලය හා ඒකාන්තයෙන් හින්නකාල නො වේ. මෙසේ හේතුප්රත්යයන්ගේ ද විශේෂය වේ.)
මේ සංසාරය වනාහි සහේතුසප්රත්යය වැ උපන්නේ යැ, වදාරනලද මැ ය: “අවිද්යා ප්රත්යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්රත්යයෙන් විඥානය වෙයි.” මෙසේ සියලු පටිච්චසමුප්පාදය වේ. මෙපරිද්දෙන් අවිද්යාව අවිද්යාවට හේතු යි, අයෝනිසෝමනසිකාරය ප්රත්යය වේ. පූර්වයෙහි වූ අවිද්යාව පශ්චිම වූ අවිද්යාවට හේතු වෙයි. එහි පූර්ව වූ අවිද්යාව (අප්රහීණව පුනපුනා උපදනා හෙයින්) අවිද්යානුශය ය, පසුව උපන් අවිද්යාව (කුශලචිත්තය පැහැරගන්නා හෙයින්) අවිද්යාපර්ය්යුත්ථාන යි. පූර්ව වූ අවිද්යානුශය පශ්චිම වූ අවිජ්ජාපරියුට්ඨානයාගේ වැඩීම ට හේතුවුයේ බීජයට අඞ්කුරය මෙන් සමනන්තරහේතුභාවයෙනි. (බීජය අඞ්කුරයට සමනන්තර හේතුයෙන් හේතු වෙයි, අඞ්කුරයෙන් හටගත් ඵලයාගේ බීජයට ද පළමු බීජය පරම්පරහේතුයෙන් හේතු වෙයි. මෙසේ අවිද්යාවගේ හේතුභාවය ද දතයුතු යැ) යළි යම් තැනකැ යම් ඵලයක් උපදී ද, මේ බීජය ඒ ඵලයට පරම්පරහේතුභාවයෙන් හේතු වූයේ යි. ඒ එසේ මැ යැ. හේතු ව ද්විවිධ වෙයි: සමනන්තරහේතු ද පරම්පරහේතු ද කියා යි. මෙපරිද්දෙන් අවිද්යාවගේ ද හේතුව දෙවැදෑරුම් වෙයි: සමනන්තරහේතු ද පරම්පරහේතු ද කියා යි.
තව ද යම්සේ ප්රදීපයට ප්රත්යය වූ පහන්කබල ද වැටිය ද තෙල් ද සමාන කාරණ වූ හේතු නො වේ ද, යම්හෙයෙකින් පහනට ප්රත්යය වු පහන්කබල ද වැටිය ද තෙල් ද ගිනි නැතිව දල්වන්නට නොහැකි වේ ද එහෙයිනි. ප්රදීපය මෙන් සමානභාව හේතුව වෙයි. මෙසේ (පහන දැල්වීමට ගින්න මෙන්) සමානභාවය හේතු යැ. (පහන්කබල වැටිය තෙල් මෙන් අසමාන වූ) අන්යභාවය ප්රත්යය යැ, නියතඅධ්යාත්මයෙහි වූයේ හේතු යැ, බාහිර වූයේ ප්රත්යය යැ, ජනක වූයේ හේතු යැ, පරිග්රාහක (උපස්තම්භක) වූයේ ප්රත්යය යැ, අසාධාරණ(ආවේණික) වූයේ හේතු යැ, සාධාරණ (අන්ය ප්රත්යයොත්පන්නයනට ද සමාන) වූයේ ප්රත්යය යි.
අනුපච්ඡින්න වු (නොසිඳිණු) හේතුප්රත්යය සංඛ්යාත කාරණයාගේ හා ඵලයාගේ අවුපච්ඡේදාර්ත්ථය කාරණඵල සම්බන්ධ හෙයින් සන්තති අර්ත්ථය යැ, (කාරණාඵලභාවයෙන් සම්බන්ධ බව සන්තති නම, කාරණඵලයන්ගේ නො සිඳි පැවැත්ම අවුපච්ඡේද නම, යම් ඵලයෙක් අන්යත්ඵලයකට කාරණ නොවී නිරුද්ධ වේ නම් එය උපච්ඡින්න නම් වෙයි රහත්හුගේ චුතිචිත්තය මෙනි. යම් ඵලයෙක් තමහට අනුරූප වූ ඵලයකට හේතු වී නිරුද්ධ වේ නම්, එය අනුපච්ඡින්න වූයේ මැ වෙයි, හේතුඵල සම්බන්ධය විද්යමාන හෙයිනි.) කාරණයෙන් උපන් ඵලයාගේ නිර්වෘතිඅර්ත්ථය ඵලාර්ත්ථ යැ, අනන්තරභව පටිසන්ධාන වශයෙන් පවත්නා ප්රතිසන්ධිඅර්ත්ථය පුනර්භවාර්ත්ථ යැ, සම්යක්ප්රතිපදාව බාධාකරන සම්පළිබෝධාර්ත්ථය පරියුත්ථානාර්ත්ථ යැ, ආර්ය්යමාර්ගයෙන් කෙලෙසුන් මුලුසුන් නොකළ අර්ත්ථය අනුශයාර්ත්ථ යැ, චතුස්සත්යයාගේ අසම්ප්රතිවේධාර්ත්ථ අවිද්යාර්ත්ථ යැ, අපරිඥාතාර්ත්ථය ප්රතිසන්ධි විඥානයාගේ නාමරූපඞ්කුරයට කාරණහේයින් බීජාර්ත්ථ යි. යම් රූපාරූපප්රවෘත්තියෙක්හි හේතුඵලයන්ගේ අනුපච්ඡේදය වේ ද එහි සන්තතිව්යවහාරය වෙයි, යම් තැනෙක සන්තතිය ඇද්ද එහි නිර්වෘතිය වෙයි, යම් තැනෙක නිර්වෘතිය ඇද්ද එහි ඵලය වෙයි, යම් තැනෙක ඵලය ඇද්ද එහි ප්රතිසන්ධිය වෙයි, යම් තැනෙක ප්රතිසන්ධිය වේ ද එහි පුනර්භවය වෙයි, යම් තැනෙක පුනර්භවය ඇද්ද එහි පළිබෝධය (කුසල්සිතට බාධාකාරීම) වෙයි, යම් තැනෙක පළිබෝධය වේ ද,