‘සමාධි’ යනු ඒකත්තතා යැ. එහි සමාධි කවරෙ යැ: අකුශලචිත්තෛකාග්‍රතා සංඛ්‍යාත සරණසමාධි ය කුශලාව්‍යාකෘත වූ (ලෝකෝත්තර වූ) අරණසමාධි යැ ප්‍රතිඝචිත්තයෙහි ඒකාග්‍රතා සංඛ්‍යාත සවේරසමාධි යැ මෙත්තාචෙතොවිමුත්ති සංඛ්‍යාත අවෙර සමාධි යැ සප්‍රතිඝ වූ සව්‍යාපජ්ඣසමාධි යැ අප්‍රතිඝ වූ අබ්‍යාපජ්ඣ සමාධි යැ සප්‍රීතික සමාධි යැ නිෂ්ප්‍රීතිකසමාධි යැ ලෞකික වූ සාමිසසමාධි යැ ලෝකෝත්තර වූ නිරාමිස සමාධි යැ දන්‍ධාභිඥ වූ සසංඛාරසමාධි යැ ක්‍ෂිප්‍රාභිඥ වූ අසංඛාරසමාධි යැ ශුෂ්කවිදර්‍ශකයාගේ ඒකංසභාවිත සමාධි යැ ශමථයානිකයාගේ උහයංසභාවිත සමාධි යැ (කායසක්ඛී පුද්ගලයාගේ ද උභතෝභාගවිමුත්තයාගේ ද) උභතෝභාවීතභාවන සමාධි යැ සවිතර්‍ක සවිචාර සමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර වූ සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ (අප්‍රගුණ වූ ප්‍රථමධ්‍යානාදි) හානභාගිය සමාධි යැ (තදනුධම්මතා සතිය පිහිටීම් වශයෙන්) ඨීතිභාගිය සමාධි යැ විශේෂාධිගමය පිණිස පවත්නා විශේෂභාගිය සමාධි යැ නිබ්බේධභාගිය සමාධි යැ ලෞකික සමාධි යැ ලෝකෝත්තර සමාධි යැ මිථ්‍යාසමාධි යැ සම්‍යක්සමාධි යැ යන මේ සමාධි නම් වේ. මේ සමාධිහුගේ වේමත්තතා යි.
‘පටිපදා’යනු ඒකත්තතා යැ. එහි පටිපදා කවර යැ: කාමසුඛානුයෝග සංඛ්‍යාත ආගාළ්හපටිපදා යැ අත්තකිලමථානුයෝග සංඛ්‍යාත නිජ්ඣාමපටිපදා යැ මධ්‍යමප්‍රතිපදා යැ ප්‍රධන්භූමියෙහි ශීතාදිය නො ඉවසන අක්ඛමපටිපදා යැ ශීතාදිය ඉවසන ඛමපටිපදා යැ උපන් කාමාදි විතර්‍කයන් සන්හිඳුවන සමපටිපදා යැ මනස සවැනි කොට ඇති ඉන්‍ද්‍රියයන් දමනය කරන දමපටිපදා යැ දන්‍ධාභිඤ්ඤ වු දුක්ඛපටිපදා යැ ඛිප්පාභිඤ්ඤවු දුක්ඛපටිපදා යැ දන්‍ධාභිඤ්ඤ වු සුඛපටිපදා යැ ඛිප්පාභිඤ්ඤවු වු සුඛපටිපදා යි. මේ පටිපදායෙහි වේමත්තතා යි.
‘කාය’ යනු ඒකත්තතා යැ. එහි කාය කවර යැ: නාමකාය ද රූපකාය ද වෙයි. එහි රූපකාය කවරෙ යැ: කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හදවත අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන් නොපැසුණු අහර පැසුණු අහර පිත් සෙම් සැරව ලේ සෝදිය මේදස් කඳුළු වුරුණුතෙල් කෙළ සොටු සඳමිදුලු මූ හිස්මුල් යන මේ යැ. මේ රූපකාය යි. නාමකාය නම්: වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඵස්ස මනසිකාර යන මේ නාමකාය යි. මේ වේමත්තතා යි.
මෙසේ ජාති ආදි යම් ධර්‍මයෙක් එයින් අන්‍ය වූ ජරා ආදි අන් ධර්‍මයකට දුක්ඛාදි භාවයෙන් සමානබව ඇද්ද, ඒ ජාත්‍යාදි ධර්‍මය ඒ ජරාදි ධර්‍මයට (දුක්ඛාදි) සමානස්වභාවයෙන් (සමානශබ්දාභිධෙයත්‍වයෙන්) ඒකත්‍වය ට පැමිණෙයි. (මේ ඒකත්‍ව ලක්‍ෂණ යැ.) යළි යම් යම් ස්වභාවයෙකින් (යම් ධර්‍මයෙක් යම් ධර්‍මයකට) විසදෘශ ලක්‍ෂණ ඇද්ද ඒ ඒ ස්වභාවයෙන් (ඒ ධර්‍මය ඒ ධර්‍මයට) වේමත්තතාවට - විසදෘශබවට පැමිණෙයි. (මේ වේමත්තතායෙහි ලක්‍ෂණ යැ.) මෙසේ සූත්‍රයෙහි හෝ වෙය්‍යාකරණයෙහි හෝ ගාථායෙහි හෝ පුළුවුස්නා ලද්දහු විසින් කිම එකත්තතායෙන් විචාරා ද නොහොත් වේමත්තතායෙන් විචාරා දැයි විමසියැ යුතු ය. ඉදින් එකත්තතායෙන් පුළුවුස්නාලද නම් එකත්තතායෙන් විසඳියැ යුතු ය. ඉදින් වේමත්තතායෙන් පුළුවුස්නාලද නම්, වේමත්තතායෙන් විසඳියැ යුතු ය. ඉදින් සත්ත්‍වප්‍රඥප්තිමුඛයෙන් පුළුවුස්නා ලද නම්, සත්ත්‍වප්‍රඥප්ති වශයෙන් විසඳියැ යුතු ය. ඉදින් ධර්‍ම වශයෙන් පුළුවුස්නා ලද නම්, ධර්‍මවශයෙන් විසඳියැ යුතු ය. යළි යම් යම් පරිද්දෙකින් පුළුවුස්නාලද නම් ඒ ඒ පරිදිදෙන් විසඳියැ යුත්තේ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “ඒකත්තතාය ධම්මා” යනාදිය.
අධිට්ඨානහාරය යොදන ලද්දේ යි.
3. 1. 15.
පරික්ඛාරහාරවිභඞ්ගය
එහි පරික්ඛාරහාරය කවරෙ යැ: “යෙ ධම්මා යං ධම්මං ජනයන්ති” යනාදි නිද්දේසගාථා යැ. යම් හේතු ප්‍රත්‍යය ධර්‍මයෙක් යම් ඵලධර්‍මයක්හු උපදවා ද, ඒ ඵල ධර්‍මයට ඒ හේතුප්‍රත්‍යයධර්‍මය පරිෂ්කාර යි. පරික්ඛාරය කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ යැ යත්: පරික්ඛාරය ජනක ලක්‍ෂණ යැ. ධර්‍මයෝ දෙදෙනෙක් (ඵලය) උපදවති, හේතු ද ප්‍රත්‍යය ද යන දෙක යි. ඒ දෙදෙනා අතුරෙහි හේතුව කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ ද, ප්‍රත්‍යය කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ ද යත්: හේතුව අසාධාරණ ලක්‍ෂණ යැ, ප්‍රත්‍යය සාධාරණ ලක්‍ෂණ යි . ඒ කුමක් මෙන් වේ ද යත්: ඒ මෙසේ යැ, අඞ්කුරයාගේ නිෂ්පත්තියට (හටගැනීමට) බීජය අසාධාරණ කාරණ යැ,