එහි අධිට්ඨානහාරය කවරෙ යැ: “ඒකත්තතාය ධම්මා යෙ’පි ච වේමත්තතාය නිද්දිට්ඨා” ආදි නිද්දේසගාථා යි. එහි යම් ධර්‍ම කෙනෙක් එතත්තතා වේමත්තතා (සාමාන්‍ය විශේෂභාව) වශයෙන් දක්වන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ එසෙයින් ධැරියයුත්තාහ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි විකල්පන නො කටයුත්තාහ.)
‘දුක්ඛ’ යනු ඒකත්‍ව (සාමාන්‍ය)යැ, (ජාත්‍යාදි විශේෂ අපේක්‍ෂා නො කොට කී හෙයිනි.) එහි දුඃඛසත්‍යය කවරෙ යැ: ජාතිය දුක යැ ජරාව දුක යැ ව්‍යාධිය දුක යැ මරණය දුක යැ අප්‍රියයන් හා සම්ප්‍රයෝගය දුක යැ ප්‍රියයන් කෙරෙන් විප්‍රයෝගය දුක යැ රිසිවූ යමක් නො ලබා නම් එද දුක යැ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්ඛයහ. රූප දුක් යැ වේදනා දුක් යැ සංඥා දුක් යැ සංස්කාර දුක් යැ විඥානය දුක් යි: මේ දුඃඛසත්‍යයාගේ විශේෂ ප්‍රකාශ කළ හෙයින් වේමත්තතා යි.
‘දුක්ඛසමුදය’ යනු ඒකත්තතා (සාමාන්‍ය) යැ, ‘එහි දුක්ඛසමුදය කවරෙ යැ: පුනර්‍භවය ඇතිකරන නන්‍දිරාගය හා සහගත වූ ඒ ඒ භවයෙහි සිත් අලවන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඒ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. මේ වේමත්තතා (විශේෂතා) යි.
‘දුක්ඛනිරෝධ’ යනු ඒකත්තතා යැ. එහි දුක්ඛනිරෝධ කවරෙ යැ: ඒ ත්‍රිවිධ තෘෂ්ණාවගේ මැ යම් නිරවශේෂ කොට මාර්‍ගයෙන් නිරුද්ධ වීමෙක් ත්‍යාගයෙක් දුරැලීමෙක් මිදීමෙක් අනාලයෙක් ඇද්ද එය යි. මේ වේමත්තතා යි.
‘දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ යනු ඒකත්තතා යැ. එහි දුක්ඛනිරෝධගාමිනී පටිපදා කවර: මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, ඒ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වාචා යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. මේ වේමත්තතා යි.
‘මග්ග’ යනු ඒකත්තතා යැ. ‘එහි මාර්‍ග කවරෙ යැ: නිරයගාමී (නිරයට යන) මාර්‍ග යැ තිරශ්චීනයෝනිගාමී මාර්‍ග යැ ප්‍රේත්‍යවිෂයගාමී මාර්‍ග යැ අසුරයෝනියට හිතවූ මාර්‍ග යැ ස්වර්‍ගගාමී මාර්‍ග යැ මනුෂ්‍යලෝකගාමී මාර්‍ග යැ නිර්‍වාණගාමී මාර්‍ග යි. මේ (මාර්‍ගයාගේ) විශේෂතා යි.
නිරෝධ යනු ඒකත්තතා යැ. එහි නිරෝධ කවරෙ යැ: අනිත්‍යාදි වශායෙන් ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රතිපක්‍ෂභාවනාවෙන් නිරෝධ යැ සංඛතධර්‍මයෙන්ගේ සරසනිරෝධ යැ හෙවත් ක්‍ෂණික නිරෝධ යැ අනුනයනිරෝධ යැ ප්‍රතිඝනිරෝධ යැ මානනිරෝධ යැ මක්ඛනිරෝධ යැ පලාස (යුගග්‍රාහ) නිරෝධ යැ ඊර්‍ෂ්‍යයානිරෝධ යැ මාත්සර්‍ය්‍යයනිරෝධ යැ සර්‍වක්ලේශයන්ගේ නිරෝධ යි. මේ නිරෝධයාගේ වේමත්තතා යි.
‘රූප’ යනු ඒකත්තතා යැ. එහි රූප කවරෙ යැ: සතර මහාභූතයන්ගෙන් හටගත් රූප යැ සතර මහාභූතයන් නිසා රූපයාගේ ප්‍රඥප්ති වෙයි. එහි සතර මහාභූතයෝ කවරහ: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තේජෝධාතු යැ වායුධාතු යි.
සංක්‍ෂේපයෙන් ද විස්තාරයෙන් දැයි දෙයාකාරයෙකින් ධාතුන් පරිග්‍රණය කෙරෙයි: කිසෙයින් විස්තර විසින් ධාතුන් පරිග්‍රහණ කෙරෙයි යත්: විසිආකාරයෙකින් පෘථිවිධාතුව විස්තර විසින් පිරිගනී, දොළොස්අයුරෙකින් අබ්ධාතුව විස්තර විසින් පිරිගනී, සියුඅයුරෙකින් තේජෝධාතුව විස්තර විසින් පිරිගනී, සයාකාරයෙකින් වායෝධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි.
කවර විසිඅයුරින් පෘථිවිධාතුව විස්තර විසින් පිරිගනී යැ යත්: මේ කයෙහි කෙස් ඇත, ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හදවත අක්මා දලබුව බඩදිව පපුමස අතුණු අතුණුබහන් නොපැසුණු අහර පැසුණු අහර හිස්කබලෙහි සිටි හිස්මුල් යන මොහු ඇති. මේ විසිආකාරයෙන් පෘථිවිධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි.
කවර දොළොස්අයුරින් ආපෝධාතුව විස්තර විසින් පිරිගනී යැ යත්: මේ කයෙහි පිත් සෙම් සැරව ලේ සෝදිය මේදස් කඳුළු වුරුණුතෙල් කෙළ සොටු සඳමිදුලු මූ ඇතැ’ යි මේ දොළොස් අයුරින් ආපෝධාතුව පරිග්‍රහණ කෙරෙයි.