7. දානාදි පුණ්‍යධර්‍මය ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සාම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේ ය. වැසිකලැ මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකී ද එමෙනි. ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසය වෙයි: ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
මේ දිට්ඨධම්මිකාදි අනර්‍ත්‍ථයෙන් රැකීම ධර්‍මයාගේ ඵල යි.
එහි උපාය කවරෙ යැ:
8. සියලු සඞ්ඛත සංඛ්‍යාත ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෝ අනාත්මයෝ යයි මෙසේ යම් ක්ලේශ (විදසුන් තෙදගන්වා) අනාත්මානුදර්‍ශන ප්‍රඥායෙන් දකී ද, එකල්හි (පෙර මැ අනිත්‍යදුඃඛයන් දුටුහෙයින්) විදර්‍ශනාගෝචර වූ පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි. තෙල නිර්වේදය විශුද්ධිසංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට උපාය (මාර්‍ග) වේ යයි.
මේ නිබ්බින්‍දනය විසුද්ධි අධිගමයට හේතු බැවින් උපාය යි.
එහි ආණත්ති කවර යැ:
9. ඇස් ඇති පුරුෂයෙක් කායිකවීර්‍ය්‍යය පවත්නා කල්හි විෂමභූමිප්‍රදේශ හෝ චණ්ඩතායෙන් විෂම වූ ඇත් අස් ආදීන් හෝ දුරුකොට යන්නා සේ සත්ලොවැ නුවණැති පණ්ඩිත පුරුෂ පාපයන් දුරැලන්නේ යි.
‘පව් දුරැලියයුතුය’ යනු ධර්‍මරාජ වූ බුදුරදුන්ගේ අණ යැ. මේ ආණත්ති යි.
මෙසේ වෙන වෙන සූත්‍රයෙහි ආ ඵල උපාය ආණත්ති උදාහරණ කොට යළි එක් මැ සූත්‍රයෙහි ආ සැටි දක්වන්නට පාරායනවර්‍ගයෙහි මෝඝරාජසූත්‍රය නිදසුන් කෙරෙති.
‘මෝඝරාජය, සියලු මැ සංස්කාරලෝකය (වසයෙහි නො පවත්නාබව සැලකීම් වශයෙන් හෝ සිස්බව නුවණින් දැකීම් වශයෙන් හෝ) ශුන්‍ය වශයෙන් බලව’ යන ධර්‍මරාජයන්ගේ වචනය විධාන වනුයෙන් ‘ආණත්ති’ යැ.
‘හැම කල්හි ස්මෘතිමත් වූයෙහි’ යනු උපාය යැ. (ස්මෘතියෙන් දර්‍ශනය වන හෙයිනි.)
‘විංශද්වස්තුක ආත්ම (සත්කාය) දෘෂ්ටිය උදුරාපියා (නසා) මෙසේ මරණය ඉක්ම වනුයෙහි වන්නේය’ යන මේ දේශනා ඵලය යි.
(ආස්වාදාදිය උදාහරණ විසින් දක්වා දැන් පුද්ගලවිභාගයෙන් දේශනාවිභාගය වදාරති:)
එහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක. විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂ්ට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක. ප්‍රතිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි.
(ප්‍රතිපදාවිභාගයෙන් ඒ පුද්ගලයන් විභාග කෙරෙති.) එහි ප්‍රතිපදා සතරක් ද, ප්‍රතිපන්නක පුද්ගලයෝ සතරදෙනෙක් ද වෙති: තෘෂ්ණචරිත ඇති මෝහාධික (මන්‍ද) පුද්ගල ස්මෘතීන්‍ද්‍රියයෙන් ලැසිවූ අභිඥා ඇති දුක් වූ ප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ සතිපට්ඨානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. (සසරදුකින් නික්මයෙයි.) තෘෂ්ණාචරිත ඇති උදත්‍ථ (උදාරප්‍රාඥ) පුද්ගල සමාධීන්‍ද්‍රියයෙන් ශීඝ්‍ර වූ අභිඥා ඇති දුඃඛප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ ධ්‍යානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. දෘෂ්ටිචරිත ඇති මෝහාධිකපුද්ගල වීර්‍ය්‍යයෙන්‍ද්‍රියයෙන් ලැසිවූ අභිඥා ඇති සුඛ ප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ සම්‍යක්ප්‍රධානයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි. දෘෂ්ටිචරිත ඇති උදත්‍ථ (උදාරප්‍රාඥා) පුද්ගල ප්‍රඥේන්‍ද්‍රියයෙන් ශීඝ්‍ර වූ අභිඥා ඇති සුඛප්‍රතිපදායෙන් නිශ්ශ්‍රය වූ ආර්‍ය්‍යසත්‍යයන්ගෙන් නිර්‍ය්‍යාණය කෙරේ.
තෘෂ්ණචරිත ඇති පුද්ගලයෝ දෙදෙන ශමථය පූර්‍වඞ්ගම කොට ඇති විදර්‍ශනායෙන් රාගවිරාග (රාගප්‍රහාණයකරන) අනාගාමීඵලසමාධියෙන් නිර්‍ය්‍යාණය කෙරෙති. දෘෂ්ටි චරිතපුද්ගලයෝ දෙදෙනා විදර්‍ශනාපූර්‍වඞ්ගම ශමථයෙන් අවිද්‍යාප්‍රහාණය කරන අර්‍හත්ඵලප්‍රඥායෙන් නිර්‍ය්‍යාණය කෙරෙත්.
එහි යම් කෙනෙක් ශමථපූර්‍වඞ්ගම ප්‍රතිපදා දෙකින් සසරදුක ඉක්මවායෙත් ද, ඔහු නන්‍දියාවට්ටනයින් පමුණුවාලියැයුත්තාහ. යම් කෙනෙක් විදර්‍ශනාපූර්‍වඞ්ගම ප්‍රතිපදා දෙකින් සසරදුක ඉක්මවායෙත් ද, ඔහු සීහවික්කීළිතනයින් පමුණුවාලියැයුත්තාහ.
ඒ මේ හාරය කොහි ලැබෙයි යත්: ක්‍ෂණසම්පත් ලැබූ යම් පුඟුලක්හට ශාස්තෘන් වහන්සේ හෝ ගරු කටයුතු අන්‍යතර සබ්‍රහ්මචාරී කෙනෙක් හෝ දහම් දෙසති. හේ ඒ දහම් අසා (බුදුන් දහම් කෙරෙහි) සැදැහැ උපදවයි. ඒ යථාශ්‍රැතධර්‍මයෙහි පද පදාර්‍ත්‍ථ විමසන විමංසායෙක් ධාරණපචයෙහි උත්සාහයෙක් සසඳා තුලනය කිරීමෙක් මහාපදේසයෙහි බහා පිරික්සීමෙක් වේ ද, මේ ‘සුතමයී’ ප්‍රඥා නමු. එසෙයින් ඒ ශ්‍රැතය උපනිශ්‍රය කොට යම් විමසීමෙක් තුලනයෙක් පිරික්සීමෙක් සිතින් පුනපුනා බැලීමෙක් වේ ද, මේ ‘චින්තාමයී’ ප්‍රඥා නමු. මේ යථෝක්ත ප්‍රඥාදෙකින් රූපාරූපපරිග්‍රහාදි මනසිකාරයෙහි යුක්තප්‍රයුක්ත වූවහුට දර්‍ශනභූමියෙහි හෝ භාවනාභූමියෙහි හෝ යම් ඥානයෙක් උපදීද මේ ‘භාවනාමය’ ප්‍රඥා නමු. (බුද්ධ, බුද්ධශ්‍රාවකාදි) අනෙකක්හුගේ දේශනාහේතුයෙන් උපන් නුවණ ‘සුතමයපඤ්ඤා’නමු. තමා තුළ පහළවූ යෝනිසෝමනසිකාරයෙන් උපන් නුවණ ‘චින්තාමයපඤ්ඤා’ නමු. පරතෝඝෝස සංඛ්‍යාත අනෙකක්හුගේ දේශනායෙදුනුදු තමාතුළ උපන් යෝනිසෝමනසිකාර හේතුයෙනුදු යම් නුවණෙක් උපදීද මේ ‘භාවනාමයපඤ්ඤා’ නමු.
යමක්හට ශ්‍රැතමය වූ ද චින්තාමය වූ ද මේ ප්‍රඥාවෝ දෙදෙනෙක් ඇද්ද මෙතෙම ‘උද්ඝටිතඥ’ නම් වේ. යමක්හට ශ්‍රැතමයප්‍රඥා ඇද්ද, චින්තාමයප්‍රඥා නැද්ද, මෙතෙම විපඤ්චිතඥ නම් වේ. යමක්හට ශ්‍රැතමයප්‍රඥා නොමැ ඇද්ද, චින්තාමයප්‍රඥා නොමැ ඇද්ද මෙතෙම ‘නෙයපුද්ගල’ නම් වේ.
මේ යථෝක්ත ධර්‍මදේශනාව කුමක් දෙසයි යත්: චතුස්සත්‍ය යි: දුඃඛ යැ, සමුදය යැ, නිරෝධ යැ, මාර්‍ග යි. ආදීනවය හා ඵලය හා දුඃඛ නම. ආස්වාදය සමුදය නම. නිස්සරණය නිරෝධ නම. උපාය හා ආණත්ති හා මාර්‍ග නම. මේ චතුස්සත්‍ය යි මේ (බුදුරදුන්ගේ සිව්සස් විසින් සාමුක්කංසිකදේසනාව) ධර්‍මචක්‍ර නම් වේ.