4. 10.
මුනි වූ සර්‍වඥයන් වහන්ස, මුඹ වහන්සේ යම් කෙනකුන්ට සකසා (හැම කල්හි හෝ) ඔවා දෙන සේක් ද, ඔහුදු දුක් දුරැලන්නාහ’යි හඟිමි. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් එළඹ මුඹ වහන්සේ නමදිමි. භාග්‍යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන්නාහු නම් මැනැවි.
තෙචා’පි නූනපජහෙය්‍යු දුක්ඛං යනු: ‘තෙචා’පි’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද. පජහෙය්‍යු දුක්ඛං යනු: ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක දුරැ ලන්නාහ, බැහැර ලන්නාහ, විගතාන්ත කරන්නාහ, අනුඅභාවයට යවන්නාහු’ යි ‘තෙචා’පි නූනපජහෙය්‍යු දුක්ඛං’ යනු වේ.
යෙ ත්‍වං මුනී අට්ඨිතං ඕවදෙය්‍ය යනු: ‘යෙ’ යනු: ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද ගෘහස්ථයන් ද ප්‍රව්‍රජිතයන් ද දෙවියන් ද මිනිසුන් ද. ත්‍වං යනු: භාග්‍යවතුන් වහන්සේ අමතයි. මුනී යනු: ඥානය ‘මොන’ යයි කියනු ලැබේ ... ඒ මුනි තෙම සඞ්ගජාලය ඉක්ම සිටුනේ යි. අට්ඨිතං ඕවදෙය්‍ය යනු: නො නැවැත අවවාද කළ මැනැව, සකසා අවවාද කළ මැනැව, එක්වන් අවවාද කළ මැනැව, පුනපුනා අවවාද කළ මැනැව, අනුශාසනා කළ මැනැව නුයි ‘යෙ ත්‍වං මුනී අට්ඨිතං ඕවදෙය්‍ය යනු වේ.
තං තං නමස්සාමි සමෙච්ච නාගං යනු: ‘තං’ යි බුදුන් අමතයි. නමස්සාමි යනු: කයින් හෝ නමදිමි, වචනයෙක් හෝ නමදිමි, සිතින් හෝ නමදිමි, අර්‍ත්‍ථානුගත ප්‍රතිපත්තියෙන් හෝ නමදිමි, ධර්මානුධර්මප්‍රතිපත්තියෙන් හෝ නමදිමි, සත්කාර කෙරෙමි, ගරුකාර කෙරෙමි, මානනය කෙරෙමි, පූජනය කෙරෙමි. සමෙච්ච යනු: එළඹ ප්‍රතිවේධ කොට හමු වැ සමීපයට පැමිණ හමුයෙහි මුඹ වහන්සේ නමදිමි. නාගං යනු: භාග්‍යවතුන් වහන්සේ නාග ද වෙති: පව් නො කෙරෙත් නුයි නාග යැ, අගති වශයෙන් නො යෙත් නුයි නාග යැ, (ප්‍රහීණ කෙලෙසුන් කරා) නො එත් නුයි නාග යැ. කිසෙයින් බුදුහු පව් නො කෙරෙත් නුයි නාග නම් වෙත් ද යත්: සංක්ලෙශපක්ෂයෙහි වූ පුනර්‍භවය කරන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති ආයතිභවයෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ ලාමක අකුශල ධර්‍මයෝ ‘ආගු’ යයි කියනු ලැබෙති.
12 (බුදුහු මෙසේ වදාළහ: සභියමාණවකයෙනි,) යමෙක් ලොවැ අල්පමාත්‍ර වූ ද, පාපයක් නො කෙරේ ද හෙතෙම හැම සංයොගයෙහි බන්ධනයන් හැර පියා විමුක්ත වූයේ (ස්කන්‍ධාදි) කිසි තැනෙකැ නො ලැගෙයි, එබඳු වූ තාදී තෙම ‘නාග’ යයි කියනු ලැබේ.
මෙසෙයින් බුදුහු පව් නො කෙරෙත් නුයි ‘නාග’ නම් වෙති.
කි සෙයින්, බුදුහු අගතියට නො යෙත් නුයි ‘නාග’ නම් වෙත් ද යත්: බුදුහු ඡන්‍දයෙන් අගතියට නො යෙති, ද්වේෂයෙන් අගතියට නො යෙති, මෝහයෙන් අගතියට නො යෙති, භයෙන් අගතියට නො යෙති, රාග වශයෙන් නො යෙති, ද්වේෂ වශයෙන් නො යෙති, මෝහ වශයෙන් නො යෙති, මාන වශයෙන් නො යෙති, දෘෂ්ටි වශයෙන් නො යෙති, ඖද්ධත්‍ය වශයෙන් නො යෙති, විචිකිත්සා වශයෙන් නො යෙති, අනුශය වශයෙන් නො යෙති, ව්‍යග්‍ර ධර්‍මයන් විසින් නො යවනු ලැබෙති, නො පමුණුවනු ලැබෙති, නූසුලනු ලැබෙති, නො ගෙන යනු ලැබෙත්. මෙසෙයින් නො යෙත් නුයි බුදුහු ‘නාග’ නම් වෙති.