2. 3.
හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි, ඔහු ‘මහා පුරුෂ’යයි කියමි. හෙතෙම මේ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මගියේ යි.
සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: ‘අන්තා’ යනු: අන්ත දෙකෙකි: ස්පර්‍ශය එක් අන්තයෙකැ, ස්පර්‍ශසමුදය දෙවැනි අන්තය යි. ස්පර්‍ශනිරෝධය මධ්‍යයෙහි වෙයි. අතීතය එක් අන්තයෙකැ අනාගතය දෙවැනි අන්තය යි. වර්තමානය මධ්‍යයෙහි වෙයි. සුඛවේදනාව එක් අන්තයෙකැ, දුක්වේදනාව දෙවැනි අන්ත යයි. නො දුක් නො සුව වේදනාව මධ්‍යයෙහි වෙයි. නාමය එක් අන්තයෙකැ, රූපය දෙවැනි අන්තය යි. විඥානය මධ්‍යයෙහි වෙයි. ආධ්‍යාත්මික ආයතනයෝ සදෙන එක් අන්තයෙකැ, බාහිර ආයතනයෝ සදෙන දෙවැනි අන්තය යි. විඥානය මධ්‍යයෙහි වෙයි. සත්කාය එක් අන්තයෙකැ සත්කාය සමුදය දෙවැනි අන්තය යි. සත්කාය නිරෝධය මධ්‍යයෙහි වේ. ‘මන්තා’ යි ප්‍රඥා කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජානන ආකාරයෙක්... අමෝහයෙක් ධර්‍මවිචය යෙක්... සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, එය යි.
ලෙපා යනු: ලෙප දෙකෙකි: තෘෂ්ණා ලෙපය ද දෘෂ්ටි ලෙපය දැයි. තෘෂ්ණාලේප කවරැ යත්. මේ මාගේ යැ, තෙල මාගේ යැ, මෙතෙක් මාගේ යැ, මෙ පමණ මාගේ යැ’ යි යම්තාක් තෘෂ්ණා කොටසින් හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරනලද ද, අවධි කරනලද ද, පරිච්ඡේද කරන ලද ද, අයත් කරන ලද ද, මමායන කරන ලද ද, මාගේ රූපයෝ යැ, ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්පර්‍ශයෝ යැ අතුරුණු යැ පොරෝන යැ දැසිදස්හු යැ එළුබැටෙළු යැ හූරු කුකුළු යැ ඇත් අස් ගව වෙළඹු යැ කෙත් යැ වතු යැ අමුරනැ රත්රනැ ගම්නියම්ගම් රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගුළු යැ’යි සියලු මැ මහ පොළොව තෘෂ්ණා වශයෙන් මමායන කෙරෙයි. යම්තාක් අෂ්ටොත්තරශත තෘෂ්ණවිචරිතයෙක් වේ ද, මේ තෘෂ්ණාලේප නම. දෘෂ්ටි ලෙප කවරැ යත්: (රූපං අත්තතෝ සමනුපස්සති’ යනාදීන් සිටි) විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, (“නත්‍ථි දින්නං යනාදීන් පැවැති) දශවස්තුක මිථ්‍යා දෘෂ්ටි යැ, (“සස්සතෝ ලෝකෝ’යනාදීන් පැවැති) දශවස්තුක අන්ත ග්‍රාහිකා දෘෂ්ටි යැ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටි කාන්තාරයෙක් (සම්‍යග්දෘෂ්ටිය විනිවිදින) දෘෂ්ටිවිශුකයෙක් දෘෂ්ටිචලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණු දැඩි කොට) ගැනීමෙක් බලවත් ගැනීමෙක් (නිත්‍යාදි වශයෙන්) අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්ගයෙක් මිත්‍ථ්‍යා ස්වභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරුද්ධග්‍රාහයෙක් විපරීතග්‍රාහයෙක් විපර්‍ය්‍යාස ග්‍රාහයෙක් මිථ්‍යා ග්‍රාහයෙක් අස්වභාවයෙහි ස්වභාව යැයි ගැනීමෙක් වේ ද, යම් තාක් දෙසැට මිසදිටු කෙනෙක් වෙත් ද, මේ ‘දෘෂ්ටිලෙප’ නම.
සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති යනු: හෙතෙම අන්තද්වය ද මධ්‍යය ද නුවණින් වෙසෙසින් දැනැ ජානනය කොට තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නො ඇලෙයි වෙසෙසින් නො ඇලෙයි උපලිප්ත නො වෙයි නො ඇලුණේ වෙසෙසින් නො ඇලුණේ උපලිප්ත නො වූයේ නික්මුණේ ප්‍රහීණ වූයේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරේ නුයි ‘සො උභන්තමභිඤ්ඤාය මජ්ඣෙ මන්තා න ලිප්පති’ යනු වේ.
තං බ්‍රෑමි මහාපුරිසො යනු: මහාපුරුෂ යැ අග්‍රපුරුෂ යැ ශ්‍රෙෂ්ඨපුරුෂ යැ විශිෂ්ටපුරුෂ යැ ප්‍රමුඛ පුරුෂ යැ උත්තමපුරුෂ යැ ප්‍රවරපුරුෂ යැයි තං බ්‍රෑමි ඔහු කියමි, ඔහු බෙණෙමි, ඔහු දක්වමි, ඔහු වහරමි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ වදාළහ: වහන්ස, “මහාපුරුෂ යැ මහාපුරුෂ යැ” යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘මහාපුරුෂ’ වේ දැ? යි. ශාරීපුත්‍රය, විප්‍රමුක්ත සිත් ඇති බැවින් මම ‘මහා පුරුෂ’ යයි කියමි. අවිමුක්ත සිත් ඇති බැවින් “මහා පුරුෂ නො වේ” යයි කියමි.