13. 4.
(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි ලෝවැසි තෙම කුමක් සංයෝජන කොට ඇත්තේ ද? ඒ ලෝ වැසියා ගේ විවරණය (හැසිරීමට කරුණ) කිම? කිනම් දහමක්හු ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’ යි කියනු ලැබේ ද?
කිං සු සංයොජනො ලෝකෝ - ලෝවැසියාගේ සංයෝජනය ලැගීම බන්‍ධනය උපක්ලේශය කිම? ලෝවැසි තෙම කුමකින් යුක්ත වූයේ ප්‍රයුක්ත වූයේ වෙසෙසින් යෙදුණේ එක් වැ යෙදුණේ ලග්න වූයේ ලග්නිත වූයේ නො හැර සිටියේ නුයි ‘කිංසු සංයොජනො ලෝකෝ’ යනු වේ.
කිං සු තස්ස විචාරණං - ඒ ලෝවැසියාගේ හැසිරීම වෙසෙසින් හැසිරීම පුනපුනා හැසිරීම කිම? ලෝවැසි තෙම කුමක් කරණ කොට හැසිරෙයි වෙසෙසින් හැසිරෙයි පුන පුනා හැසිරේ ද නුයි ‘කිං සු තස්ස විචාරණං’ යනු වේ.
කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති - කවර ධර්‍මයක් හුගේ ප්‍රහාණයෙන් ව්‍යුපශම යෙන් දුරැලීමෙන් නො පැවැත්මෙන් ‘නිර්‍වාණ’ යයි කියනු ලැබෙයි පවසනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි දක්වනු ලැබෙයි වහරනු ලැබේ ද නුයි ‘කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“කිං සු සංයොජනො ලෝකෝ -පෙ- නිබ්බානං ඉති වුච්චති” යි.
13. 5.
ලෝවැසි තෙම තෘෂ්ණාව සංයෝජන කොට ඇත්තේ යැ විතර්‍කය ඔහුට විචාරණය වෙයි. තෘෂ්ණාවගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’ යි කියනු ලැබේ.
නන්‍දිසංයොජනො ලෝකෝ - ‘නන්දි’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ ‘නන්දි’ යි කියනු ලැබෙයි. යම් නන්‍දියක් ලෝවැසියාගේ සංයෝජනය ලැගීම බන්‍ධනය උපක්ලේශය වේ ද මේ නන්දියෙන් ලෝකය යුක්ත වූයේ ප්‍රයුක්ත වූයේ වෙසෙසින් යුක්ත වූයේ එක් වැ යෙදුණේ ලග්න වූයේ ලග්නිත වූයේ පරිරුද්ධ වූයේ නුයි ‘නන්‍දිසංයොජනො ලෝකෝ’ යනු වේ.
විතක්කස්ස විචාරණං- ‘විතක්ක’ නම් නව විතර්කයෙකි: කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසා විතර්‍ක යැ ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතා ප්‍රතිසංයුක්ත විතර්‍ක යැ ලාභ සත්කාර ප්‍රශංසා ප්‍රතිසංයුක්තවිතර්ක යැ අනවඥාප්‍රතිසංයුක්ත විතර්‍ක යැ, මොහු නව විතර්‍කයෝ යැ යි කියනු ලැබෙත්. මේ නව විතර්‍කයෝ චාරණ (පැවැත්මට කරුණ) විචාරණ පුනපුනා විචාරණයෝ වෙති. මේ නව විතර්‍කයන් හේතු කොට ගෙන ලෝ වැසි තෙමේ හැසිරෙයි වෙසෙසින් හැසිරෙයි පුනපුනා හැසිරේ නුයි ‘විතක්කස්ස විචාරණං’ යනු වේ.
තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති- ‘තණ්හා’ යනු: රූප තෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති- තෘෂ්ණාව වෙසෙසින් ප්‍රහාණය කිරීමෙන් සන්හිඳුවීමෙන් දුරැලීමෙන් නො පැවැත්මෙන් නිර්‍වාණය වේ යයි කියනු ලැබෙයි දක්වනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි පවසනු ලැබෙයි වහරනු ලැබේ නුයි ‘තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නන්‍දිසඤේඤාජනො ලෝකෝ -පෙ- නිබ්බානං ඉති වුච්චති” යි.
13. 6.
(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි) ස්මෘති සම්පන්න වැ වාසය කරන්නහු ගේ විඥානය කිසෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නා සඳහා පැමිණියම්හ, මුඹ වහන්සේ ගේ ඒ වචනය අසම්හ.
කථං සතස්ස චරතො යනු: කිසෙයින් සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ හැසිරෙනුවහු ගේ වෙසෙසින් හැසිරෙනුවහු ගේ ඉරියවු පවත්වනුවහු ගේ වැටෙනුවහුගේ රැකෙනුවහු ගේ යැපෙනු වහුගේ යාපනය වන්නහු ගේ නුයි ‘කථං සතස්සස්ස චරතො’ යනු වේ.
විඤ්ඤාණං උපරුජ්ඣති- අභිසංස්කාර විඥානය නිරුද්ධ වෙයි සන්හිඳෙයි අස්තයට යෙයි නො පවත්නේ වේ නුයි ‘විඤ්ඤාණං උපරුජ්ඣති’ යනු වේ.
භගවන්තං පුට්ඨුමාගම්හා- භාග්‍යවත් බුදුනු පුළුවුස්නට විචාරන්නට යදනට අධ්‍යෙෂණයට ආම්හ ආවම්හ එළැඹියම්හ පැමිණියම්හ. මුඹ වහන්සේ හා එක් වූම්හ නුයි ‘භගවන්තං පුටුඨුමාගම්හා’ යනු වේ.