7. 2.
(මෛත්රෙය, යී බුදුහු මෙසේ වදාළහ:) මෙවුන්දම්හි ඇලුණහුගේ (පර්ය්යාප්ති-ප්රතිපත්ති) ශාසනය නැසෙයි, යළි (හෙතෙම) වරදවා පිළිපදී, ඔහු කෙරෙහි තෙල මිත්ථ්යාප්රතිපදාව අනාර්ය්යධර්මයෙකි.
මෙථුනමනුයුත්තස්ස - ‘මෙථුනධම්ම’ නම්: යම් අසද්ධර්මයෙක් ග්රාම්යධර්මයෙක් දුෂ්ටබහුල වූ ධර්මයෙක් දියකිස අන්ත කොට ඇති රහස්ය වූ (ධර්මයෙක්) ද්වයංද්වයසමාපත්තියෙක් වේ ද එයයි. කවර කරුණෙකින් ‘මෙථුනධම්ම’ යි කියනු ලැබේ ද යත්? (රාගයෙන්) රත් වූ වෙසෙසින් රත් වූ (ක්ලේශයෙන්) තෙත් වූ කුශලවාරය මැඩගෙන සිටි කුසල්සිත යටපත් කළ ස්ත්රීපුරුෂ දෙදෙනාගේ ක්ලේශයෙන් සදෘශ වූ දෙදෙනා ගේ ධර්මය නුයි එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ; යම්සේ කලහකරුවෝ දෙදෙනෙක් මෙථුනකයෝ යැයි කියනු ලැබෙත් ද, ඩබරකරුවෝ දෙදෙනෙක් - වාක්කලහකරුවෝ දෙදෙනෙක් - විවාදකරුවෝ දෙදෙනෙක් - අධිකරණකරුවෝ දෙදෙනෙක් - වාදීහු දෙදෙනෙක් - කථාකරුවෝ දෙදෙනෙක් ‘මෙථුනකයෝ’ යැයි කියනු ලැබෙත් ද, එසෙයින් ම රක්ත වූ සංරක්ත වූ (ක්ලේශයෙන්) තෙත් වූ කුශලසිත මැඩගෙන සිටි යටපත් කළ කුසල්සිත ඇති ස්ත්රීපුරුෂදෙදෙනා ගේ සදෘශ වූ ස්ත්රීපුරුෂදෙදෙනාගේ ධර්මය නුයි - එ කරුණෙන් ‘මෙථුනධම්ම’ යී කියනු ලැබේ.
මෙථුනමනුයුත්තස්ස - මෛථුනධර්මයෙහි යුක්ත වූ ප්රයුක්ත වූ විශේෂයෙන් යුක්ත වූ එක් වැ යෙදුණා වූ එය කරන්නාවූ එය බහුල වැ කරන්නාවූ එය ගරු කරන්නාවූ ඊට නැමුණාවූ ඊට නතු වූ ඊට බර වූ එහි ඇලුණා වූ එය අධිපති කොට පවත්නහු ගේ නුයි ‘මෙථුනමනුයුත්තස්ස’ යනු වේ.
‘මෙත්තෙය්ය’ යී බුදුහු ඒ තෙරුන් ගෝත්රයෙන් ආමන්ත්රණ කෙරෙති: භගවා යනු: ගෞරවාධිවචයන යි; තවද - භග්න කළ රාග ඇත් නුයි - භගවත් යැ, භග්න ද්වේෂ ඇත් නුයි - භගවත් යැ, භග්න මෝහ ඇත් නුයි - භගවත් යැ, භග්න (=බුන්) මාන ඇත් නුයි - භගවත් යැ, බුන් දෘෂ්ටි ඇත් නුයි - භගවත් යැ; බුන් කෙලෙස් කටු ඇත් නුයි - භගවත් යැ, බුන් කෙලෙස් ඇත් නුයි - භගවත් යැ, ධර්මරත්නය භාග-විභාග-ප්රවිභාග කෙළේ නුයි - භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි - භගවත් යැ, භාවිතකාය - භාවිතසීල - භාවිතචිත්ත - භාවිතප්රඥා ඇත් නුයි - භගවත් යැ, නොහොත් බුදුහු ශබ්ද රහිත වූ නිර්ඝොෂ රහිත වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්යකාරණයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනසෙනසුන් වෙනෙහි දුර සෙනසුන් ඉතා දුර සෙනසුන් සේවනය කළාහු නුයි - භගවත් යැ, නොහොත් බුදුහු චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත්පිරිකරට හිමි වූවාහු නුයි - භගවත් යැ, බුදුහු අර්ත්ථරසයට ධර්මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්රඥාවට හිමිවූවාහු නුයි - හෝ භගවත් යැ.
බුදුහු සතර ධ්යානයන්ට සතර අප්රාමාණ්යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්ෂයන්ට අෂ්ටඅභිහායතනයන්ට නවානුපූර්වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු දශසංඥාභාවනාවන්ට දශකෘත්ස්නසමාපත්තීන්ට ආනාපානස්මෘතිසමාධියට අශුභසමාපත්තියට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්යක්ප්රදහනයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්ද්රියයන්ට පඤ්චබලයන්ට සප්තබොධ්යඞ්ගයන්ට ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගයට හිමි වූවාහු නුයි - භගවත් යැ, බුදුහු දශවිධ තථාගතබලයන්ට චතුර්වෛශාරද්යයන්ට සිවු පිළිසැඹියාවන්ට ෂඩ් අභිඥාවන්ට ෂඩ් බුද්ධධර්මයන්ට හිමි වූවාහු නුයි - භගවත් යැ; තෙල ‘භගවත්’ යන නම මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑණන් විසින් නො කරන ලද, බූණන් විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑ-සහලේනෑයන් විසින් නො කරන ලද; මහණ-බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද; යම් භගවත් යන නමක් වී නම් තෙල භාග්යවත් බුදුවරයන්ට විමෝක්ෂාන්තයෙහි බෝමුලැ සර්වඥතාඥානයාගේ ප්රතිලාභය සමග අර්හත්ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්රඥප්තියක් වූවා නුයි ‘මෙත්තෙය්යාති භගවා’ යනු වේ.
මුස්සතෙ වාපි සාසනං - දෙ කරුණෙකින් ශාසනය නැසෙයි: පර්ය්යාප්තිශාසනය ද නැසෙයි, ප්රතිපත්තිශාසනය ද නැසෙයි; පර්ය්යාප්තිශාසනය කවරැ යත්? ඔහු විසින් පුහුණු කළ යම් සූත්රයෙක් ගෙය්ය - වෙය්යාකරණ - ගාථා - උදාන - ඉතිවුත්තක - ජාතක - අද්භූතධර්මයෙක් වේ ද, මේ යැ පර්ය්යාප්තිශාසනය; හෙ ද නැසෙයි වෙසෙසින් නැසෙයි ප්රකර්ෂයෙන් නැසෙයි අත්යන්තයෙන් නැසෙයි පරිබාහිර වේ නුයි මෙසේත් ‘මුස්සතෙ වාපි සාසනං’ යනු වේ. ප්රතිපත්තිශාසනය කවරැ යත් ? සම්යක්ප්රතිපදාව අනුලොමප්රතිපදාව අවිරුද්ධප්රතිපදාව අන්වර්ත්ථප්රතිපදාව ධර්මානුධර්මප්රතිපදාව සිල් පුරනුසුලු බව ඉඳුරන්හි පියූ දොර ඇති බව බොජුන්හි පමණ දන්නා බව නිදිවැරීමෙහි යෙදීම සිහිනුවණ ඇති බව සතර සතිපට්ඨානය සතර සම්යක්ප්රදහනය සතර ඍද්ධිපාදය පඤ්චේන්ද්රියය පඤ්චබලය සප්තබෝධ්යඞ්ගය ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය යන මේ යැ ප්රතිපත්තිශාසනය; හෙ ද මුෂ්ය - සම්මුෂ්ය - ප්රමුෂ්ය - සමප්රමුෂ්ය වෙයි, පරිබාහිර වේ නුයි මෙසේත් ‘සම්මුස්සතෙ වාපි සාසනං’ යනු වේ.
මිච්ඡා ච පටිපජ්ජති - ප්රාණඝාත ද කෙරෙයි, නුදුන් දෙය ද ගනී, ගෘහසන්ධිද බිඳියි, ගම් පැහැරීම ද කෙරෙයි, ගෙවල් පැහැරීම ද කෙරෙයි, මංපැහැරීම ද කෙරෙයි, පරඹුන් කරා ද යෙයි, බොරු ද කියා නුයි ‘මිච්ඡා ච පටිපජ්ජති’ යනු වේ.
එතං තස්මිං අනාරියං - යම් මිත්ථ්යාප්රතිපදාවක් වේ ද, තෙල ඒ පුද්ගලයා කෙරෙහි අනාර්ය්ය බව යැ බාල බව යැ මූඪ බව යැ, අඥාන බව යැ, අමරාවික්ෂෙපභාවය නුයි ‘එතං තස්මිං අනාරියං’ යනු වේ.
එයින් වදාළහ, බුදුහු:
“මෙථුනමනුයුත්තස්ස -පෙ- එතං තස්මිං අනාරියං” යී.