6. 4.
පුරුෂ තෙමේ සිහිනෙන් පැමිණ හෝ දක්නා ලද චන්‍ද්‍රාදි කිසිවක් පිබිදියේ යම්සේ නො දකී ද, එසෙයින් පරලොව ගිය කලුරිය කළා වූ ප්‍රිය කළ සත්ත්‍වයා නො දකී.
සුපිනෙන යථාපි සඞ්ගතං - හමු වූ සමීපයට පැමිණි එක් වූ පිඬු වූවාහු නුයි ‘සුපිනෙන යථාපි සඞ්ගතං’ යනු වේ.
පටිබුද්ධො පුරිසො න පස්සති - පුරුෂ තෙමේ නිදන්නේ සඳ දකී, හිරු දකී, මහමුහුද දකී, මහමෙර දකී, ඇතකු - අසකු - රියක් - පාබලසෙනඟක් - සේනාසමූහයක් දකී, සිත්කලු අරම් - සිත්කලු උයන් - සිත්කලු බිම්පෙදෙස් - සිත්කලු පොකුණු දකී, (එතෙකුදු වත්) පිබිදියේ යම්සේ කිසිවක් නො දකී ද, එහෙයින් ‘පටිබුද්ධො පුරිසො න පස්සති’ යනු වේ.
එවං පියායිතං ජනං - ‘එවං’ යනු: ඖපම්‍ය දැක්වීම යි; පියායිතං ජනං - ප්‍රිය කළ මමත්‍වය කළ සත්ත්‍වයා: මව හෝ පියා හෝ බෑයා හෝ බුහුන හෝ පුතු හෝ දූ හෝ මිතුරකු හෝ යහළුවකු හෝ නෑ-සහලේ-නෑයකු හෝ නුයි ‘එවං පියායිතං ජනං’ යනු වේ. පෙතං කාලකතං න පසස්ති - මළේ කලුරිය කෙළේ ‘ප්‍රේත’ යයි කියනු ලැබේ. ඒ මළහු නො දකී නො පැමිණෙයි නො ලැබෙයි ප්‍රතිලාභ නො වේ නුයි ‘පෙතං කාලකතං න පසස්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සුපිනෙන යථාපි -පෙ- කාලකතං න පසස්ති” යී.
6. 5.
ක්‍ෂත්‍රියාදි යම් කෙනකුන්ගේ නාමප්‍රඥප්තිය මේ යැයි කියනු ලැබේ ද, ඒ සත්ත්‍වයෝ ඇසින් දුටු චතුසමුට්ඨානික රූපයෝ ද කනින් ඇසූ ද්විසමුට්ඨානික ශබ්දයෝ ද වෙති. පරලොව ගිය සත්ත්‍වයා ගේ නාමමාත්‍රය ම කියන්නට ඉතිරි වේ.
දිට්ඨාපි සුතාපි තෙ ජනා - දිට්ඨා - චක්‍ෂුර්විඥානයෙන් දක්නා ලද චතුසමුත්‍ථානික රූපයෝ; සුතා - ශ්‍රොත්‍රවිඥානයෙන් අසන ලද ද්විසමුට්ඨානික ශබ්දයෝ; තෙ ජනා - ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයෝ නුයි දිට්ඨාපි සුතාපි තෙ ජනා.
යෙසං නාමමිදං පවුච්චති - යෙසං - (යම්) ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - වෛශ්‍ය - ශුද්‍ර - ගෘහස්ථ - ප්‍රව්‍රජිත - දෙව - මනුෂ්‍යයන්ගේ; නාමං - සංඛ්‍යාව සංඥාව ප්‍රඥප්තිය ව්‍යවහාරය නාමය නාමකර්‍මය නාමධෙය්‍යය නිරුක්තිය ව්‍යඤ්ජනය අභිලාප යි; පවුච්චති - පවසනු ලැබෙයි, කියනු ලැබෙයි, බණනු ලැබෙයි, දක්වනු ලැබෙයි, වහරනු ලැබේ නුයි - ‘යෙසං නාමමිදං පවුච්චති’ යනු වේ.
නාමමෙවාවසිස්සති අක්ඛෙය්‍යං - රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥානය ප්‍රහීණ වෙයි, හරිනු ලැබෙයි, අතුරුදහන් වෙයි, වැනැසේ නුයි - ‘නාමමෙවාවසිස්සති’ යනු වේ. අක්ඛෙය්‍යං - පවසන්නට කියන්නට බණන්නට දක්වන්නට වහරන්නට නුයි - ‘නාමමෙවාවසිස්සති අක්ඛෙය්‍යං’ යනු වේ.
පෙතස්ස ජන්තුනො - පෙතස්ස යනු: පරලොව ගියහු කලුරිය කළහු ගේ; ජන්තුනො - සත්ත්‍වයාගේ නර - මාණව - පුරුෂ - පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්‍දගු - හින්‍දගු - මනුජයක්හුගේ නුයි - “අක්ඛෙය්‍යං පෙතස්ස ජන්තුනො” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිට්ඨාපි සුතාපි තෙ ජනා -පෙ- අක්ඛෙය්‍යං පෙතස්ස ජන්තුනො” යී.
6. 6.
මමත්‍වය කළ වස්තු විෂයෙහි ගිජු වූවාහු ශොකපරිදෙවමාත්සර්‍ය්‍යය යම් හෙයකින් නො හරිත් ද, එහෙයින් මුනීහු තෘෂ්ණාදෘෂ්ටිපරිග්‍රහය හැරපියා ක්‍ෂෙමසඞ්ඛ්‍යාත නිවන දකිමින් විසූහ.
සොකපරිදෙවමච්ඡරං න ජහන්ති ගිද්ධා මමායිතෙ - ‘සෝක’ නම්: ඥාතීන්ගේ විනාශයෙන් මඩනා ලද්දහුගේ හෝ භෝගයන්ගේ විනාශයෙන් මඩනා ලද්දහු ගේ හෝ රොගව්‍යසනයෙන් - ශීලව්‍යසනයෙන් - දෘෂ්ටිව්‍යසනයෙන් මඩනා ලද්දහුගේ හෝ මිත්‍රව්‍යසනාදි යම් කිසි ව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ හෝ යම් කිසි දුක්හෙතුවකින් මඩනා ලද්දහුගේ හෝ ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කරන බවෙක් අභ්‍යන්තරශොකයෙක් සිත තුළ අධිකශොකයෙක් අභ්‍යන්තරදාහයෙක් අභ්‍යන්තරපරිදාහයෙක් සිත දැවෙන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ නම් එයයි. ‘පරිදේව’ නම්: නෑයන්ගේ වනසින් මඩනා ලද්දහුගේ හෝ... දෘෂ්ටිව්‍යසනයෙන් - යම් කිසි ව්‍යසනයෙකින් යුක්ත වූවහු ගේ හෝ යම් කිසි දුඃඛහෙතුවකින් මඩනා ලද්දහුගේ හෝ හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් හඬන අයුරෙක් හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කියන බවෙක් වේ නම් එය යි. මච්ඡරියං - මාත්සර්‍ය්‍ය:... (2-3 සූත්‍ර නිර්‍දෙශය.) මේ මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.