5. මඞ්ගල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා දෙවියෙක් රෑ (පෙර යම්) ඉක්ම ගිය කල්හි විශිෂ්ට ශරීරශෝභා ඇත්තේ සියලු ජේතවනය (ස්වකීය) ශරීරශොභායෙන් බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙම භාග්‍යවතුන්වහන්සේට ගාථායෙන් (මෙසේ) කීයේ ය:
1. ස්වස්ථභාවය කැමැති බොහෝ දෙවියෝ ද මිනිස්සු ද (දෙලෝ වැඩ සලසන) මඞ්ගල කාරණයන් සිතූහ. වැඩ සලසන උතුම් මඟුල් (මඞ්ගල කාරණ) වදාළ මැනැවි.
[බුදුරජුහු වදාළහ:]
2. බාලයන් ඇසුරු නොකිරීම ද මඟුලෙකි. පණ්ඩිතයන් ඇසුරු කිරීම ද මඟුලෙකි. පිදිය යුත්තන් පිදීම ද මඟුලෙකි. මේ (එක එකෙක්) උතුම් මඟුල් ය (මඞ්ගල කාරණය).
3. සුදුසු පෙදෙසෙහි විසීම ද, පෙරකළ පින් ඇති බව ද, සිය අත්බව (ශීලාදි) මනා දහම්හි පිහිටුවීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
4. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, (ගිහි පැවිදි) සිප්හි අත් හුරු බව ද, මොනොවට හික්මුනු කා විසි මුනි තුන් දොර ඇති බව ද, මොනොවට කියන ලද වචනය ද (මුසාවා ආදියෙන් වැළකි වචනය ද) යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
5. මවුට උවටන ද, පියාට උවටන ද, අඹුදරුවනට සඞ්ග්‍රහ ද, (ගොවිතැන් ආදි) නිරවුල් කර්‍මාන්තය ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
6. දානය ද, දස කුසල්දහම්හි හැසිරීම ද, නෑයන්ට සංග්‍රහ ද, පෙහෙවස් විසීම් ආදි නිවැරැදි කර්‍ම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
7. මානසික අකුශලයෙන් වැළැක්ම ද, කායික වාචසික අකුශලයෙන් වැළැක්ම ද, මත්පැනෙන් වැළැක්ම ද, කුසල්දහම් වැඩීමෙහි නොපමා බව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
8. ගරු කටයුත්තනට ගරු කිරීම ද, මන් නැති බව ද (නිහතමාන බව) ද, ලද දැයින් සතුටු වන බව ද, කෙළෙහි ගුණ දන්නා බව ද, සුදුසු කල්හි බණ ඇසීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
9. ඉවැසීම ද, සුවච බව ද, ශ්‍රමණයන් දැක්ම ද, සුදුසු කල්හි ධර්‍ම සාකච්ඡාව ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
10. තපස ද (ඉන්‍ද්‍රියසංවර හා වීර්‍ය්‍යය ද,) බඹසර ද (මෙවුන්දමින් වැළැක්ම, මහණදම, සසුන් බඹසර යන තුන් බඹසර ද), චතුරාර්‍ය්‍යසත්‍යයන් දැකීමද (මාර්‍ගදර්‍ශනය ද), නිවන්පසක් කිරීම ද යන මේ (එක එකෙක්) උතුම් මඟුල් ය.
11. අට ලෝදහමින් පහස්නා ලද (ස්පර්‍ශකරන ලද, මඬනා ලද) යමක්හුගේ සිත නො සැලේ ද, ශෝක රහිත ද, රාගාදි රජස් රහිත ද, කාමයෝගාදීන්ගෙන් නිරුපද්‍රත ද, එ බඳු වූ රහත්හුගේ සිතෙහි වූ ඒ නොසැලෙන බව ආදි එක එකෙක් උතුම් මඟුල් ය.
12. යම් කෙනෙක් මෙබඳු වූ බාලයන් ඇසුරු නොකිරීම් ආදි මඞ්ගල කාරණයන් කිරීමෙන් හැම තන්හි (දෙලෙව්හි ම) නොපැරැදුනෝ ව සියලු ඉරියව්වෙහි ස්වස්ථ ව වෙසෙත් ද, එය (ඒ බාලයන් ඇසුරු නොකිරීම් ආදිය) ඔවුන්ට උතුම් මඟුල් ය.
මඞ්ගල සූත්‍රය යි.
6. රතන සූත්‍රය
1. පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා. තව ද මගේ වචනය සකසා අසත්වා.
2. භූතයෙනි, ඒ බැවින් සියලු තෙපි (මගේ වචනය) අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එළවත් ද, එහෙයින් නො පමා ව ම ඔවුන් රකිවු.
3. මේ මිනිස්ලොව හෝ නාලෝ ආදි අන් ලොවෙක හෝ යම් ධනයෙක් වේ ද දෙව්ලෝහි හෝ මහඟු රුවනෙක් වේ ද (ඔවුන් අතුරෙහි) තථාගතයන් හා සදෘශයෙක් නැත් ම ය. මෙ කරුණින් ද බුදුරජුහු උතුම් රුවනෙකි (නොහොත් මෙය බුදුරජුන් ගේ රත්නභාවය යි.) මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
4. ශාක්‍යමුනි තෙම (ආර්‍ය්‍යමාර්‍ග සමාධියෙන්) එකඟ වූ සිත් ඇත්තේ, කෙලෙස් නැසීමට නිමිති වූ, රාගයෙන් වෙන් වීමට නිමිති වූ, මරණයක් නැති, උතුම් වූ (මහත් වූ) යම් නිවනක් පසක් කළේ ද, ඒ දහම හා සම වූ කිසිවෙක් නැත්තේ ය. මෙ කරුණින් ද නිවන්දහම උතුම් රුවනෙකි. මේ සත්‍යවචනානුභාවයෙන් සෙත් වේවා.
5. බුද්ධශ්‍රේෂ්ඨ තෙම අත්‍යන්තපරිශුද්ධ වූ යම් මාර්‍ගසමාධියක් වර්‍ණනා කළේ ද, බුද්ධාදීහු ආනන්තරික (අනතුරුව ම පල දෙන) සමාධිය යැ යී යමකට කියත් ද, ඒ සමාධිය හා සදෘශ (අන් සමාධි) යෙක් නැත. මේ කරුණින් ද ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.