14. වැසි දහර සකස් කොට සෙවිලි කරන ලද ගෙයක් යම් සේ විනිවිද නො යන්නේ ද, එ පරිදි ම කාමරාග තෙමේ භාවනා වශයෙන් මොනවට වැඩු සිත විනිවිද නො යයි.
15. පව් කරන සුලු පුද්ගල තෙම (මැරෙන කාලයෙහි කර්මානුස්මරණ වශයෙන්) මෙ ලොව දී ශෝක කරයි. විපාකානුභව වශයෙන් පරලොව දී ශෝක කරයි. (මෙසේ) දෙලොවදී ම ශෝක කරයි. තමාගේ කිලිටි කර්ම දැක හෙ තෙම (මෙ ලොව දී) ශෝක කරයි. (නොයෙක් සැටියෙන් වැලැපෙන්නේ) වෙසෙසින් පෙළෙයි.
16. පින් කළ පුද්ගල තෙම මෙ ලොව දී කුශලකර්මානුස්මරණයෙන් සතුටු වෙයි. පරලොව දී විපාකානුභාවයෙන් සතුටු වෙයි. දෙලොව දී ම සතුටු වෙයි. තමාගේ විශුද්ධ වූ පුණ්යකර්මය දැක්මෙන් හෙ තෙම මෙ ලොව දී සතුටු වෙයි. පරලොව දී ද බොහෝ සෙයින් සතුටු වෙයි.
17. පව් කරන සුලු පුද්ගල තෙමෙ මෙ ලොව දී (කර්මසන්තාපයෙන්) තැවෙයි. පරලොව දී විපාකසන්තාපයෙන් තැවෙයි. දෙලොව දී ම තැවෙයි. ම විසින් පව් කරන ලදැයි (මෙලොව දී) තැවෙයි. දුගතියට ගියේ (අනිෂ්ට විපාක සන්තාපයෙන්) බෙහෙවින් තැවෙයි.
18. පින් කළ පුද්ගල තෙමේ මෙලොව දී (කර්මනන්දනයෙන්) තුටු වෙයි. පරලොව දී (විපාකනන්දනයෙන්) තුටු වෙයි. දෙලොව දී ම තුටු වෙයි. මාවිසින් පින් කරන ලදැයි මෙලොව දී තුටු වෙයි. සුගතියට ගියේ ඉෂ්ටවිපාකනන්දනයෙන් බෙහෙවින් තුටු වෙයි.
19. යමෙක් ත්රිපිටක බුද්ධ වචනය බොහෝ කොට කියන්නේ නමුදු, තෙමේ පමා වූයේ, ඉදින් එය නො කරන්නේ (තමා කියන පරිදි නො පිළිපදනේ) නම්, හේ (කුලියට) අනුන් ගේ ගෙරින් රක්නා ගොපල්ලා මෙන් ශ්රාමණ්යයට (සතරඵලයනට) හිමි නො වෙයි.
20. යමෙක් ත්රිපිටක බුද්ධවචනය ස්වල්ප කොට කියන්නේ නමුදු, තෙමේ ධර්මානුධර්මප්රතිපත්තිය කරන්නේ නම්, (නවලෝකෝත්තර ධර්මයට අනුරූපව වූ පූර්වභාග ප්රතිපත්තිය කරන්නේ නම්), රාගයත් ද්වේෂයත් මෝහයත් නසා පිරිසිඳිය යුතු දහම් පිරිසිඳ දන්නේ, මෙලොවෙහි හෝ පරලොවෙහි හෝ (ආධ්යාත්මික හෝ බාහිර හෝ) කිසිදු ස්කන්ධ ධාතු ආයතනයක් තෘෂ්ණා දි වශයෙන් නො ගන්නේ ශ්රාමණ්යයට (සතර ඵලයටත් ආර්ය්යශිලාදී අකෛෂශ ධර්මස්කන්ධ පසටත්) හිමි වෙයි.
පළමු යමකවග්ගය
2. අප්රමාද වර්ගය
1.(21) (සුචරිතධර්ම විෂයයෙහි) නොපමා බව (සිහි නොමුළා බව) නිර්වාණාධිගමයට කරුණු ය. (සුචරිතධර්ම විෂයෙහි) පමා බව (පමා වූවහු ඉපදීමටත් එයින් මරණයටත් පැමිණෙන බැවින්) මරණයට කරුණු ය. (කල්යාණධර්මයෙහි) නො පමා වූවෝ නො මියෙති. යම් කෙනෙක් ධර්මයෙහි පමා වෙත් ද, ඔහු (ජාත්යාදියෙන් නොමිදුණු බැවින්) මළවුන් වැනි වෙත්.
2.(22) නුවණැත්තෝ අප්රමාදයෙහි වූ මේ ගුණය වෙසෙසින් දැන අප්රමාදයෙහි සතුටු වෙති. ආර්ය්යයන්හට ගෝචර වූ බෝධිපාක්ෂිකධර්මය නව ලෝකෝත්තර ධර්මය යන මෙහි අලුනෝ වෙත්.
3.(23) ධ්යාන වඩන සුලු, සතතයෙන් පැවැති වීර්ය්යය ඇති, නිතර පැවැති දැඩි පැරැකුම් ඇති ඒ ප්රාඥයෝ කාමාදි යෝගයන්ගෙන් නිර්භය වූ අනුත්තර වූ නිර්වාණය ස්පර්ශ කරති.
4.(24) උත්ථාන (සංඛ්යාත වීර්ය්ය) යෙන් යුක්ත වූ, (කුදු මහත් කටයුත්තෙහි) එළඹ සිටුනා සිහි ඇති, නිර්දෝෂ කායකර්මාදිය ඇති, (සියලු කටයුතු) පරීක්ෂා කොට කරන සුලු වූ, සංයත වූ කායවාක්කර්ම ඇති, ධාර්මමික ජීවිකායෙන් ජීවත් වන්නාවූ, (කෘෂිවණික්කර්මාන්ත රාජසේවාදියෙහි) අප්රමත්ත වූ, පුරුෂයාගේ (ඓශ්චර්ය්ය භොග පරිවාර සම්මාන සංඛ්යාත වූ ද කිත්තිවර්ණ සංඛ්යාත වූ ද) යශස (ඔදවැඩි) මුහුද මෙන් වඩනේ ය.
5.(25) (කායික මානසික වීර්ය්ය සංඛ්යාත) උත්ථානයෙන් ද, (සුසිරිත් දහම්හි) සිහි ඇති බව යැ යි කියන ලද අප්රමාදයෙන් ද, (සිවු පිරිසිදු සිල් යැ යි කියන ලද) කායවාක් සංයමයෙන් ද, (සදොරට හමු වූ අරමුණෙහි ලෝභ දේවේෂ මෝහ නො උපදවා යෝනිසෝමනස්කාරය පැවැත්මය යි කියන ලද) ඉන්ද්රිය දමනයෙන් ද, (විවසුන් නුවණින් යුත්) ප්රාඥ තෙම, යම් ප්රතිෂ්ඨාවක් (කමෝඝාදී වූ) කෙලෙස් මහවතුර නො නසා ද (නසාපිය නො හේ ද), ඒ (රහත්පල නැමැති) ප්රතිෂ්ඨාව කරන්නනේ ය.