“දරුව එසේ නම්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ඇසුරු කොට (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම සත්කාර කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම ගරු කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම බුහුමන් කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම පුදමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම යටත් පැවැත්ම දක්වමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ධ්වජයක් සේ පෙරටු කැරැගත්තෙක් වැ, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම කුන්තයක් සේ ඔසොවා ගත්තෙක් වැ (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ආධිපත්‍යය කොට ඇත්තෙක් වැ, (හැම ක්‍රියාවක් දශ කුශලකර්‍ම පථ වශයෙන්ම කරන්නෙක් වැ) (පුත්‍ර දාරාදි) අන්තෝජනයා කෙරෙහි ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
ධර්‍මය ම ඇසුරු කොට … බලසෙන් කෙරෙහි ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධානය කරව.
ධර්‍මය ම ඇසුරු කොට … යටත් වූ අනුයුක්ත ක්‍ෂිත්‍රයයන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
ධර්‍මය ම ඇසුරු කොට … බමුණන් කෙරෙහි ද ගැහැවියන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
ධර්‍මය ම ඇසුරු කොට … නියම්ගම්වැසි දනවුවැසි ජනයා කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
ධර්‍මය ම ඇසුරු කොට … මහණුන් කෙරෙහි ද (බාහිත පාපි) බමුණන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
ධර්‍මය ම ඇසුරු කොට … මෘගපක්‍ෂීන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.
දරුව, තගේ රටෙහි අධර්‍මක්‍රියා නොපවත්නා ලෙසට කටුයුතු සලසව.
දරුව, තා රටෙහි යම් කෙනෙක් ධනය නැත්තාහු ද, ඔවුනට ධනය දෙව.
දරුව, තා රටෙහි යම් මහණ බමුණු කෙනෙක් මදයෙන් හා ප්‍රමාදයෙන් වැළැක්කාහු, ක්‍ෂාන්තියෙහි ද සෞරත්‍යෙයෙහි ද (කායික වාචසික සුචරිතයෙහි ද) පිහිටියාහු එක ම තම සිත දමනය කෙරෙත් ද, එකම තම සිත සංහිඳුවත් ද, එක ම තම සිත පිරිනිවත් ද, ඔවුන් කරා කලින් කලැ එළැඹ, “වහන්ස, කුසල් කවර යැ? අකුසල් කවර යැ? වරද කවර යැ? නිවරද කවර යැ? සෙවියැ යුත්ත කවර යැ? නොසෙවියැ යුත්ත කවර යැ? මා කරන කිමෙක් නම් බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස පවත්නේ ද? මා කරන කිමෙක් හෝ බොහෝ කලක් වැඩ පිණිස සුව පිණිස පවත්නේ දැ?” යි නැවත නැවත විචාරව පුන පුනා ප්‍රශ්න කරව. ඔවුන් කී බස් අසා යමෙක් අකුසල් වේ ද, එය බැහැර කරව. යමෙක් කුසල් වේ ද, එය සමාදන් කොට ගෙන පවතුව.
දරුව, මේ අරී සක්විතිවත නම් වේ” යැ යි රාජර්ෂි කී ය.
“එසේ යැ දේවයිනි”යි කියා ම, මහණෙනි, මුදුනැ අබිසෙස් ලත් ඒ කැත් රජ රාජර්ෂිහට පිළිවදන් දී අරී සක්විති වතෙහි පැවැත්තේ ය. අරී සක්විති වත්හි පවත්නා, ඒ පසොළොස්වක් පුණු පොහෝදා හිස සෝදා නා, සමාදන් කොට ගත් පෙහෙවස් ඇති වැ, පහයැ මතු මහල් තලයට නැංගාවූ ඔහුට දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන් දෙව් සක්රුවන පහළ විය.
එය දැක්මෙන් මූර්‍ධාභිෂික්ත වූ ඒ කැත් රජුහට මේ සිත විය : ‘එ පුණුපොහෝ දින හිස සෝදා නා සමාදන් කොට ගත් පෙහෙවස් ඇති වැ පහයැ මතු මහල් තලයට නැගී හුන්, අරී සක්විති වත්හි පවත්නා මුදුනැ අබිසෙස් ලත් යම් කැත් රජක්හට දහසක් අර ඇති නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන් දෙව් සක්රුවන පහළ වේ ද, හෙ තෙමේ සක්විති රජ වේ යැ” යි මෙය මා විසින් අසන ලදී. මම් සක්විති රජ වන්නෙම් දෝ?’ යි යනු ය.